මතභේදයට තුඩු දී ඇති උතුරු කොරියා රොකට්ටු වැඩසටහන නියමිත දිනට පසුව කි‍්‍රයාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමේ වැඩකටයුතු හේතු කීපයක් පදනම් කර ගෙන කල්තැබීමට කොරියානු විද්‍යාඥයන් පියවර ගෙන ඇති බව එරට අභ්‍යවකාශ තාක්ෂණ කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.  බටහිර රටවලින් එල්ලවන දේශපාලන බලපෑම් මැද රොකට්ටුවේ ඇති තාක්ෂණික දෝෂයක් හෝ අධික හිමපතනය මෙම වැඩසටහන කල්දැමීමට හේතු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ මස 10 සහ 22 අතර දිනකදී චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතව තිබිණි. චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරනවා යැයි පවසමින් උතුරු කොරියා රජය උත්සහ ගන්නේ න්‍යෂ්ටික රොකට්ටුවක් අත්හදා බැලීමට යැයි ඇමෙරිකාව සහ දකුණු කොරියාව දිගින්දිගටම චෝදනා කළේය. පසුගිය අපේ‍්‍රල් මාසයේදී ද උතුරු කොරියාව මේ අයුරින්ම රොකට්ටුවක ආධාරයෙන් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සහ කළ ද එය අසාර්ථක විය.