16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් සිය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ මීළඟ පාප්තුමන් කවුරුන් වනු ඇති ද යන්න ගැන ලෝක ප‍්‍රජාව තුළ විශාල උනන්දුවක් ඇති වී තිබේ.
යුරෝපයෙන් බැහැර රටක කාඩිනල් පියතුමකු එම පදවියට තේරී පත් වනු ඇතැයි ද, එම කාඩිනල් පියතුමා වයස් ගතයකු නොවනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කරති.
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාඩිනල් හිමිවරුය. එම කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වති.
පාප් වහන්සේ කෙනකු තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ සිස්ටින් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගින්ය.
කාඩිනල් පියතුමන්ලා පාප් වහන්සේ පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.
පදවියෙන් ඉවත්ව යන පාප්තුමකුට අනුප‍්‍රාප්තිකයකු පත් කිරීමේ බලතල කතෝලික සභාවේ නීතිරීතිවලින් නොලැබේ.
අනුප‍්‍රාප්තිකයකු නම් කළ නොහැක. නව පාප්තුමන් තේරීම සිදුවන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයට, එනම් කාඩිනල් පියතුමන් රැුස්වී ඡුන්ද විමසීමෙන් පත් කෙරෙති.
පාප්තුමකු ඉල්ලා අස්වීම ඉතා විරල සිදුවීමක් වන අතර, අවසන් වරට පාප්තුමකු ඉල්ලා අස්වූයේ මීට අවුරුදු 600 කට ඉහතදීය. එසේ ඉල්ලා අස්වූයේ 6 වැනි ග්‍රෙගරි පාප්තුමන්ය. ඒ, 1415 වසරේ දීය.
ඉල්ලා අස්වන බව නිවේදනය කළ ද බෙනඩික් පාප්තුමන්ගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ලබන 28 වැනිදා යැයි වතිකානුවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමෝ එම පදවියට පත් 265 වැන්නා වෙති.