පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයක සැඟවී සිටි පාකිස්තාන තලේබාන් නායක මුල්ලා නසීර් ඝාතනය කිරීමට හැකිවීම තලේබාන්වරුන් සටන්කාමීන්ට එල්ල කළ මරු පහරක් යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකා හමුදා ඉකුත් 3 වැනිදා මුල්ලා නසීර් මරා දැමුවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරමින්ය. ඔහු මියගියේ පාකිස්තානයේ දකුණු වසිරිස්තාන ප‍්‍රදේශයක ගමන් කරමින් සිටිද්දීය.
 ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නිරත නේටෝ හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළ තලේබාන් ඉහළ පෙළේ නායකයකු ලෙස ද මුල්ලා නසීර් ප‍්‍රසිද්ධියට පත් ව සිටියේය.
ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයෙන් මුල්ලා නසීර් සහ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය ප‍්‍රධානීන් දෙදෙනකු ඇතුළු තවත් පස්දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
පසුගිය කාලය මුළුල්ලේම නසීර් ඉලක්ක කරගෙන ඇමෙරිකා භටපිරිස් ප‍්‍රහාර ගණනාවක් එල්ල කළ ද ඒ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ විය. අල් කයිඩා සංවිධානය හා සමීප සබඳතා පවත්වන හක්කානි සටන්කාමීන් සමඟ සබඳතා පැවැත්වූ අයකු ලෙස නසීර් සැලැකිනි.
නසීර්ගේ මරණයත් සමඟ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ තලේබාන් සංවිධානයේ කටයුතු අඩපණ වී ඇතැයි පාකිස්තාන ආරක්ෂක අංශ  ඊයේ (6) නිවේදනය කළේය.