මියන්මාරයේ දිනෙන් දින උත්සන්න වන වාර්ගික ගැටුම් හේතුවෙන් සහෝදර මුස්ලිම්වරුන් ඝාතනය වීම තවත් ඉවසා සිටිය නොහැකි බවත්, එම ගැටුම් විසඳීමට මියන්මාර රජය අපොහොසත් වන්නේ නම් මියන්මාරයට පහර දීමට තමන් පසුබට නොවන බවත් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති. එම අනතුරු ඇඟවීම කර ඇත්තේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක තරේක් ඊ තලේබාන් සංවිධානයයි. මියන්මාරය සමඟ සියලූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හරින්නැයි ද තරේක් ඊ තලේබාන් සංවිධානය පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත. ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති මියන්මාර තානාපති කාර්යාලය වහා වසා දමන ලෙසට ද තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීමත් සමඟ එහි ආරක්ෂාව වැඩි කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මේ අතර ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුව අමතමින් මියන්මාරයේ විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී පෙරේදා (25) කියා සිටියේ රටේ වාර්ගීක ජන කොටස් අතරේ සමඟිය වර්ධනය කිරීමට නම් එම ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට නීති සකස් කළ යුතුයි කියාය.