
මානව වර්ගයා කෘත්‍රිම බුද්ධියේ වහලකු වී ඇතැයි ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා අනතුරු අඟවති. 14 වැනි ලියෝ පාප්තුමා මෙලෙස අනතුරු ඇඟවීම් කළේ කෘත්‍රිම බුද්ධි පද්ධති සඳහා රාජ්‍ය මට්ටමින් නියාමනයක් සිදුනොවන්නේ නම්, එය බරපතල වියසනයකට හේතුවක් වනු ඇතැයි ද පෙන්වා දෙමිණි.
‘අද ඇත්ත මොකක්ද බොරුව මොකක්ද පැහැදිලිව හඳුනා ගන්න බැහැ. ඒ.අයි. කෘත්‍රිම බුද්ධි වීඩියෝ, ඡායාරූප ඒ තරමටම යථාර්ථවාදීයි. මේක හරි බරපතල තත්ත්වයක්. ඒ.අයි. කෘත්‍රිම බුද්ධි දිනෙන් දින අලුත් වෙනවා. ඒවාත් ඉගෙන ගනිමින් පරිණාමය වෙනවා. මනුෂ්‍ය අපට වඩා ඒවා බුද්ධිමත් ලෙස පරිණාමය වෙනවා. එය බිහිසුණු තත්ත්වයක් ලෙස මා දකිනවා. අපේ දෛනික වැඩ පහසු කර ගන්න අප කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නවා. ඒක මෙවලමකට වඩා අපේ ජීවිත පහසු කරනවන අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙමින් පවතිනවා. ඇත්තම කියනවා නම් පත් වී අවසන්.’ යැයි පාප්තුමා සිය කනස්සල්ල පළ කර ඇත.
ලියෝ කනස්සල්ල පළ කරමින් මේ ආකාරයට ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය ගැන අනතුරු ඇඟවීම් කළේ පාප් ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම නිල ලියවිල්ල ප්‍රසිද්ධියට පත් කරමිණි. ඉංග්‍රීසියෙන් මෙය ‘මැග්නිෆිසන්ට් හියුමැනිටි’ යනුවෙන් නම් කෙරේ. මෙය පිටු දහස් ගණනක් ඇතුළත් ලියවිල්ලකි.
‘අද ලෝකය පරිගණක පද්ධතිවලින් එකිනෙක හා සම්බන්ධ වී අවසන්. මනුෂ්‍ය වර්ගයා දිනෙන් දින තාක්ෂණය මත යැපෙනවා. කෘත්‍රිම බුද්ධියෙන් සියලු වැඩකටයුතු කර ගැනීමට පෙළඹී සිටිනවා. ගුණ ධර්ම පිරිහෙමින් පවතිනවා.’ යැයි පාප්තුමා සිය ලියවිල්ල ඔස්සේ පෙන්වා දී ඇත.
කෘත්‍රිම බුද්ධි සේවා ලබා දෙන්නේ පෞද්ගලික සමාගම් බැවින්, ඒවාට ලබා දෙන දත්තවල වගකීම සම්පූර්ණ වශයෙන් එම සමාගම්වලට දීම අනතුරුදායක බවත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් නව නීති සකස් විය යුතු බවත් පාප්තුමා පැහැදිලි කර ඇත.
අද ඇමෙරිකා ඉරාන යුද්ධයේදී මෙන්ම රුසියා යුක්රේන යුද්ධයේදී ද යුද උපක්‍රම විශ්ලේෂණයටත්, නිවැරදි ඉලක්ක හඳුනා ගනිමින් ප්‍රහාර එල්ල කිරීමටත් ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි.
කෘත්‍රිම බුද්ධි වැඩසටහන්වල සහාය යුද්ධ සඳහා භාවිතයට ගැනීම කොතරම් දුරට සාධාරණදැයි ද පාප්තුමා විමසා ඇත. යුද්ධවලදී ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීම,දැඩි සදාචාරාත්මක සීමාවන්ට යටත් කළ යුතු යැයි ද ජීවිතය සහ මරණය ගැන තීරණය කිරීම කෘත්‍රිම බුද්ධියකට පැවරීම අනුමත කළ නොහැකි බවත් පාප්තුමා සිය දීර්ඝ ලේඛනයෙන් පෙන්වා දී ඇත.
14 වැනි ලියෝ ඇමෙරිකන් ජාතික පාප්තුමෙකි. ඇමෙරිකන් ජාතික පාප්තුමකු එම ධුරයට තේරී පත්වී සිටින පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව වර්ගයාගේ බහුතරයක් ආගම්වල වහල්ලු.