කොළ වෙනුවට ලී පුවරුත් තීන්ත වෙනුවට ගින්දරත් භාවිතා කර මුද්‍රණ කටයුතු කර ගත හැකි මුද්‍රණ යන්ත්‍රයක් ස්විට්සර්ලන්ත ජාතික ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු විසින් නිපදවා ඇත.

මේ මුද්‍රණ යන්ත්‍රය පරිගණකයට සම්බන්ධ කළ හැකි අනෙක් මුද්‍රණ යන්ත්‍ර හා සමානය.වෙනසකට ඇත්තේ සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයකින් කඩදාසියක් මතට විදින තීන්ත වෙනුවට මෙහි විදින්නේ ගින්දර වීමයි.

මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ හිස වන්නේ ගිනි විදිනයකි.එයින් ප්‍රොපේන් හා බියුටේන් වායූන් මිශ්‍ර කිරීමෙන් සාදාගත් වායුවක් දවා නිපදවෙන ගිනි සිලූ විදිනු ලබයි.මේ ගිනි සිලූ සෙල්සියස් අංශක 1200 ක පමණ උෂ්ණත්වයෙන් යුතුය.මුද්‍රණ සදහා යොදාගන්නා ලී පුවරු පිළිස්සීමට ප්‍රමාණවත් වුවද ඒවා දවා අලූ කිරීමේ හැකියාවක් මේ ගිනි සිලූ වලට නොමැති බව සදහන්ය.

මුද්‍රණ යන්ත්‍රයෙන් ගිනි සිලූ විදීම පාලනය වනුයේ පරිගණකයක් ඔස්සේය.මුද්‍රණය කළ යුතු රූපය පරිගණකය වෙත ලබා දුන් පසු පරිගණකයේ වන විශේෂ මෘදුකාංගයක් මගින් මුද්‍රණ යන්ත්‍රයේ ගිනි විදිනය ක්‍රියාත්මක  කරනු ලබයි.එමගින් මුද්‍රණ කටයුතු සිදුකෙරෙනා ලී පුවරුව පිළිස්සීමෙන් අදාළ රූපය මතුකර ගැනේ.