බ්‍රසීල ජනාධිපතිවරණය අක්‍රමිකතාවලින් පිරුණු එකක් බවටත්, බලයේ සිටින ජනාධිපති ලූලා ද සිල්වාට තවත් ජනවරමක් හිමිවූයේ ‘හොර ඡන්ද’ දැමීම නිසා බවටත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.

ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් සහාය පළ කළේ ලූලාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ෆ්ලේවියෝ බෝල්සනාරෝටය. 45 හැවිරිදි ෆ්ලේවියෝ බෝල්සනාරෝ යනු, ට්‍රම්ප් හිතවාදී බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයකු වන යාර් ​බෝල්සනාරෝගේ පුත්‍රයාය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීමට නොහැකි බව, ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇති නමුත්, ෆ්ලේවියෝ බෝල්සනාරෝ සිය පරාජය බාරගත් බව ද පැවැසෙයි.

පසුගිය 25 වැනිදා පැවැත්වූයේ බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයයි. ඒ, ලූලා සහ ෆ්ලේවියෝ බෝල්සනාරෝ අතරේය.  සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුවත්, පළමු වටයෙන් ඉදිරියට පැමිණි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ මොවුන් දෙදෙනා බැවින්, දෙවැනි වටය ඔවුන්ද දෙදෙනා අතරේ පැවැත්විණි.

දෙවැනි වටයේ නිල ප්‍රතිඵල නිකුත් වෙද්දී ලූලා ද සිල්වා සියයට 51.78 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන තිබුණි. ෆ්ලේවියෝ බෝල්සනාරෝ ලබාගැනීමට සමත් වූයේ සියයට 48.23 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.