අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු හැටි සහ එම ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් එම මෙහෙයුමට සම්බන්ධ වුණු ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමට අයත් එක් සෙබළකු ලියූ ‘නෝ ඊසි වේ’ නමැති කෘතියට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඇමෙරිකන් රජය සූදානම් වේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එම පොත එළිදැක්වීමෙන් සහ එම පොතෙහි අඩංගු කරුණු ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවය. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා 2011 වසරේ දී කළ ඝාතන මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තර ඇතුළත් මෙම කෘතියට ඇතුළත් වන අතර එය ලබන 4 වැනිදා එළිදැක්වීමට නියමිතය. පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැබීමෙන් යැයි ‘නෝ ඊසි වේ’ නමැති එම කෘතියට ඇතුළත් වෙයි. කෘතිය රචනා කර ඇත්තේ එම මෙහෙයුමට සම්බන්ධ වී, මේ වනවිට හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටින නේවි සීල් භටයෙකි. මාක්  ඕවන් යන නමින් ඔහු මෙම කෘතිය රචනා කර ඇත්තේ ඇමෙරිකා මාධ්‍යවේදියකු වන කෙවින් මොරර් සමඟ ද හවුල් වෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකාවේ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පවසන්නේ ‘නෝ ඊසි වේ’ කෘතිය හරහා ජනපති බැරැක් ඔමාබා මැතිවරණ වාසි ලබා ගැනීමට උත්සහ ගන්නා බවටය. ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේදී පැවැත්වෙයි. මීට අමකරව බින් ලාඩන් ඝාතන මෙහෙයුම ඇසුරින් ‘සීරෝ ඩාක් තර්ටි’ නමින් ත‍්‍රාසජනක කි‍්‍රයාදාම හොලිවුඞ් චිත‍්‍රපටයක් ද නිර්මාණය වී ඇති අතර එය මේ වසරේ දෙසැම්බරයේ දී තිරගත වීමට නියමිතය. මෙම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානනීය අධ්‍යක්ෂිකා කැතරින් බිගලෝව් විසිනි.