බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිලි දෙකක් ඉකුත් දින දෙක තුළ ගිනිගෙන විනාශ වී, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමත් සමඟ තම ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කරමින් ඇඟලූම් කම්හල් සේවක සේවිකාවෝ දහස් ගණනින් පෙරේදා (26) ඩකා නුවර විරෝධතා රැලියක් පැවැත්වූහ. පළමුවෙන් ගින්න හට ගත්තේ ඩකා නුවරට කිලෝමීටර 30ක් ඔබ්බෙන් පිහිටි තස්රීන් ෆැෂන් නමැති මහල් නවයකින් යුත් ඇඟලූම් කම්හලේය. එම ගින්නෙන් මියගිය ගණන 120 කි. දෙවැනි ගින්න හටගත්තේ ඊට පසුදින එනම් පෙරේදාය. එයින් ද 12 දෙනකු ජීවිතක්ෂයට පත් වූයේ යැයි පොලිසිය පැවැසීය. එම ගින්න හටගත්තේ මහල් 12 කින් සමන්විත ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේය. දින දෙකක් තුළ ඇඟලූම් කම්හල් දෙකක් ගිනි ගැනීම කිසියම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් යැයි විරෝධතා රැලියට එක් වූ සේවක සේවිකාවෝ චෝදනා කරන්නට වූහ. එම ගිනි ගැනීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි ද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියහ.