දකුණු පිලිපීනයට පෙරේදා (4) බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප‍්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 800කට පමණ හානි සිදුවූ බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. ඉකුත් සතියේ සුනාමි අනතුරු ඇඟවීමට තරම් ප‍්‍රබල වූ රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ භූකම්පනය හටගත් ප‍්‍රදේශයෙන්ම මෙම නව භූකම්පනය වාර්තා වන බව පිලිපීන බලධාරීහු පවසති. දකුණු පිලිපීනයේ මින්දනා ඕ දූපත්වලට බටහිරින් පිහිටි පාලිම්බාන්ග් නගරයට කිලෝමීටර් 42ක් ඔබ්බෙන් පිහිටි ප‍්‍රදේශයක භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. භූකම්පනයෙන් කිසිදු ජීවිතහානියන් සිදුව නොමැති බවත් සුන්බුන් කඩාවැටීමෙන් එක් අයකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. භූමි කම්පාවක් හට ගනිද්දී ඉන් ආරක්ෂා වන්නේ කෙසේදැයි පාසල් දරුදැරියන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් පවැත්වීමට එරට බලධාරීහු ඊයේ  කටයුතු කළහ.ඡායාරූපය: ඒ.එෆ්.පී.