උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දෙලාමීඞ් අබු සෙයිඞ් මරා දැමීමට තම හමුදා සමත් ව ඇතැයි ප‍්‍රංශ රජය පවසයි.
අබ්දෙලාමීඞ් අබු සෙයිඞ් මරා දැමීමට හැකි වී ඇත්තේ මාලි රාජ්‍යයේ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සටන් කරන ප‍්‍රංශ හමුදා සෙබළුන්ය.
මාලි රටේ උතුරුදිග පළාත් අල්ලාගෙන සිටින්නේ අපි‍්‍රකාවේ සහ අරාබි රටවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේත් උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක එම අල් කයිඩා සටන්කාමීන්ය.
ප‍්‍රංශ හමුදා මාලි රටේ ඇඞ්රාර් දේ ඉෆෝගාස් කඳුකරයට පෙරේදා පහර දුන් අවස්ථාවේදී අබ්දෙලාමීඞ් අබු සෙයිඞ් ද එම කඳුකරයේ සැඟ වී සිටි බවට තොරතුරු ලැබී තිබුණු බවත් ප‍්‍රහාරවලින්  අබු සෙයිඞ් මියයන්න ඇති බවත් ප‍්‍රංශ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එඩුවා ග්විලෝ ඊයේ (5) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.
ප‍්‍රංශ හමුදා මාලි රජයට සහ හමුදාවට සහාය දෙමින් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සංග‍්‍රාම කටයුතු ආරම්භ කළේ ඉකුත් ජනවාරි මාසයේදීය. මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවැතිණි.
ප‍්‍රංශය පමණක් නොව අපි‍්‍රකා සංගමයේ සාමාජික රටවල් කිහිපයක ද හමුදා මාලි රාජ්‍යයට පැමිණ සිටී. ඒ අතරින් චැඞ් රාජ්‍යයේ හමුදා ඉකුත් සති අන්තයේ සටන්කාමීන්ට එල්ල කළ ප‍්‍රහාරවලින් ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියට සම්බන්ධ
ජිහාඞ්වාදී සටන්කාමී මොක්තාර් බෙල්මොක්තාර්ද ජීවිතක්ෂයට පත්විය.
ඇල්ජීරියානු ප‍්‍රාණ ඇපකරු සිද්ධියේ මහ මොළකරු බෙල්මොක්තාර් මරා දැමීමට චැඞ් රාජ්‍යයේ හමුදා සෙබළුන් සමත් වීම අප‍්‍රිකා කලාපයේ කි‍්‍රයාත්මක ජිහාඞ්වාදී ඉස්ලාමීය සටන්කාමීන්ට එල්ල වූ මරු පහරක් යැයි ඇමෙරිකාව පවසා ඇත.
අල් කයිඩාවට සම්බන්ධ ජිහාඞ් සටන්කාමීන් මාලි රාජ්‍යයේ අසල්වැසියකු වන ඇල්ජීරියාවේ ටිගැන්ටුරීන් නමැති ස්වභාවික වායු බලශක්ති බලාගාරයට කඩා වැදී, එහි සිටි විදේශිකයන් රැුසක් ප‍්‍රාණ ඇපයට ගත්තේ පසුගිය ජනවාරි 16 වැනිදාය. එම ප‍්‍රාණ ඇපකරු සිද්ධිය පසුපස සිටි මහ මොළකරු මොක්තාර් බෙල්මොක්තාර්ය.
ප‍්‍රාණ ඇපකරුවන් රඳවා ගත් ජිහාඞ් සටන්කාමීන් ඉල්ලා සිටියේ මාලි රටේ තම සටන්කාමීන්ට එරෙහිව ප‍්‍රංශය සහ චැඞ් රාජ්‍යයේ හමුදා ගෙන යන මෙහෙයුම් වහා නවත්වන ලෙසටය.