අභිනවයෙන් පාප් පදවියට පත් පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමා පෙරේදා(29) බාලවයස්කාර රැඳෙවියන් රඳවා තැබෙන රෝමයේ මාර්මෝ රැඳෙවුම් මධ්‍යස්ථානයට ගොස් එහි සිටි තරුණ රැඳවියන් 12 දෙනකුගේ පාදෝවනය කළේය. 
පාස්කු උත්සවයට පෙර වතිකානුවේ ආගමික මෙහෙයක් ආරම්භ කරමින් පාප්තුමන් මෙසේ රැඳවියන්ගේ පා දෝවනය කිරීමේ පැරැණි චාරිත‍්‍රය ඉටු කළේය. එහිදී පාප්තුමන් වයස අවුරුදු 14 ත් 21 ත් වයසැති දැරියකගේ සහ තරුණියකගේත් මුස්ලිම් ජාතික රැඳවියන් දෙදෙනකුගේත් පාද දෝවනය කර සිපගැනීම සුවිශේෂී සිදුවීමක් විය.
 මා යමකුගේ පාද දෝවනය කර සිප ගැනීමෙන් සංකේතවත් කරන්නේ ඒ තැනැත්තාට හෝ තැනැත්තියට මාගේ සේවය ලැබෙන බව යැයි පාප්තුමෝ රැස්ව සිටි මාධ්‍ය හමුවේ පැහැදිලි කළෝය.
අප හැමවිටම අනෙක් අයට ආදරය කළ යුතුයි. ඔවුන්ට උදව් කළ යුතුයි. එයයි ජේසුතුමන් අපට කියා දුන්නේ යැයි ද පාප්තුමෝ පැවැසූහ.
පාප්තුමකු කාන්තාවකගේ පා දෝවනය කළ පළමු අවස්ථාව මෙය බව පැවැසූ වතිකානු ප‍්‍රකාශක ෆෙඞ්රිකෝ ලොම්බාර්ඩි, ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ආජන්ටිනාවේ කාදිනල් පදවිය හෙබ වූ කාලයේදී සිරකඳවුරු, රෝහල් සහ වැඩිහිටි නිවාසවලදී ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව මේ චාරිත‍්‍රය ඉටු කළ බව පැවැසීය.
පාප්තුමාගේ කි‍්‍රයා කලාපය ඉතාලි පුවත්පත්වල දෝෂදර්ශනයට ලක්ව තිබූ අතර එම පුවත්පත් සඳහන් කළේ එම කි‍්‍රයාකලාපය පාප්තුමකුට උචිත නැති බවත් එය කතෝලික සභාවේ සම්ප‍්‍රදාය බිඳීමක් බවත්ය.
පාප් පදවියට පත් වූ අවස්ථාවේ සිට ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් කියා සිටියේ කතෝලික පල්ලිය මෙන්ම කතෝලික සභාව ද දුප්පතුන් වෙනුවෙන් කැප විය යුතු බවය. 
රැඳවුම් කඳවුර බාර නිලධාරියා සඳහන් කළේ පාප්තුමන්ගේ මෙම කි‍්‍රයාව අවුරුදු 14ත් 21ත් අතර වියේ පසුවන රැඳවියන්ගේ අනාගතය අලෝකමත් කිරීමට හේතුවනු ඇති බවයි. 

පාප්තුමන් රැඳවියන්ගේ පාදෝවනය කළ අවස්ථාව....