විරෝධතාවට එක් වූ සිවිල් වැසියෝ පිරිසක් ...

ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා සෙබළුන්ගෙන් සිදුවන අඩන්තේට්ටම් සහ කෙනෙහිලිකම්වලට විරෝධය දක්වමින් ඇෆ්ගනිස්තානයේ වර්දාක් ප‍්‍රාන්තයේ මේඩන් ෂාර් අගනුවර ඊයේ (27) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
එම විරෝධතා රැලියට දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ. ඇෆ්ගනිස්තානයේ වර්දාක් ප‍්‍රාන්තයේ සිවිල් වැසියන්ට එරෙහිව සිදුවන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිගේ අවධානය ද යොමු වී ඇත.  
වර්දාක් ප‍්‍රාන්තයෙන් වහා පිටවී යන්නැයි ජනපති කර්සායි ඉකුත් 25 වැනිදා ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාවට නියෝග කළේය. ඒ සඳහා සති දෙකක කාලයක් ද ලබා දුන්නේය.
වර්ඩාක් ප‍්‍රාන්තය පිහිටා ඇත්තේ කාබුල් අගනුවරට ආසන්නයේය. එහි තලේබාන් කි‍්‍රයාකාරීත්වය බහුලය.
මේ අතර ඇමෙරිකා සහ නේටෝ හමුදා ප‍්‍රධානීන් පවසා ඇත්තේ තම
හමුදා සෙබළුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවටය.
2011 වසරේදී වර්දාක් ප‍්‍රදේශයේ පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් තලේබාන් සටන්කාමීන් වෙඩිතබා බිම හෙළුහ. ඉන් ඇමෙරිකා සෙබළු තිස් දෙනෙක් සහ ඇෆ්ගන් වැසියන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2014 වසරේ දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතව සිටී. ඇමෙරිකා හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කර ඔවුන් ශක්තිමත් කිරීමෙන් ද පසුවය. එම පුහුණු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
කෙසේ නමුත් ජනපති කර්සායි ප‍්‍රමුඛ බටහිර ආධාර මත පවත්වාගෙන යන ඇෆ්ගන් රජය බිය පළ කරන්නේ විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඉරාකයේ සිදුවන අයුරින් ඇෆ්ගනිස්තානයේ ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වේවි කියාය.