පසුගිය නොවැම්බරයේ පැවැති ජනපතිවරණයෙන් පැහැදිලි ජයක් හිමිකර ගත් ඩිමොක‍්‍රටික් පක්ෂ නායක බැරැක් ඔබාමා ඊයේ (20) ඇමෙරිකා වේලාවෙන් උදෑසන 11.55 ට සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දීමට සූදානමින් සිටියේය.
ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වීමට සංවිධානය කර තිබුණු දිවුරුම්දීමේ විශේෂ උත්සවයට ලක්ෂ 8 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි ධවල මන්දිරය ප‍්‍රකාශ කර තිබුණි. ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ආරම්භ වී තිබුණි.
දිවුරුම් දීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණේ අග විනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය. එම අවස්ථාවට ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා ද සහභාගී වීමට නියමිතය.
2008 වසරේ පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කර, පළමු ධුර කාලය වෙනුවෙන් ඔබාමා 2009 වසරේ ජනවාරියේ දිවුරුම් දුන් අවස්ථාවේ ද අග විනිසුරුවරයා ලෙස කටයුතු කළේ ජෝන් රොබට්ස්ය.
2009 වසරේ පැවැති දිවුරුම් දීමේ උළෙලට මිලියන 1.8 ක පිරිසක් සහභාගී වූහ. ඔබාමා එම අවස්ථාවේ දිවුරුම් දුන්නේ ඇමෙරිකා ජනපති පුටුවට ආ පළමු කළු ජාතික ඇමරිකානුවා ලෙසින් වීම ද සුවිශේෂී සිදුවීමක් යැයි දේශපාලන විචාරකයෝ සිහිපත් කරති .
දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දෙන්නේ අභියෝග රැසක් ද සමඟය. ඔහුට මුහුණ දීමට සිදුවූ අභියෝග අතරින් ප‍්‍රධාන තැනක් ගත්තේ රජයේ ප‍්‍රධාන තනතුරු කීපයක් හිස් වීමය.
ඔබාමා විසින් එම තනතුරු සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාවලට ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් පමණක් නොව ඩිමොක‍්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් ද විරෝධයක් එල්ල විය. ඊට අමතරව ඔබාමා ඉදිරිපත් කළ බදු සැලැසුම් මෙන්ම ගිනි අවි පාලන කෙටුම්පත සම්බන්ධයෙන් ද අර්බුද රැසක් මතු වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.