ලොව වැසි වනාන්තර වැඩි ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නේ අදින් වසර 2000ට පමණ පෙර දී යැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත. බොලීවියාවේ වනාන්තර ආශ්‍රිතව කිලෝ මීටරයක් දිගට මීටර තුනක් ගැඹුරු හා මීටර හතරක් පළලැති අගලක් කණිමින් කරන ලද පරීක්ණයකින් පසු පුරා පාරිසරික විද්‍යාඥයන් කණ්ඩායමක් මේ බව කියති.

පර්යේෂකයන් පවසන්නේ ලොව වැසි වනාන්තර බොහොමයක් අදින් වසර 2000ට පෙරාතුව සවානා තෘණ භූමි හා අතීත ජනතාවගේ වගා බිම් ලෙස තිබී ඇති බවයි. ලෝකයේ පාරිසරික ඉතිහාසය සැළකූ විට වසර 2000 ක් යනු ඉතා කෙටි කාලයකි. එතරම් කෙටි කාලයක දී සවානා තෘණ භූමිවල සිට රූස්ස ගස් සහිත වැසි වනාන්තර දක්වා පාරිසරික විපර්යාසයක් වීමට හේතුවන්නට ඇත්තේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන කක්ෂයේ වෙනසක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතයයි. ඒ අනුව තෙත් හා වියළි කාලගුණික තත්ත්වයේ ඇති වූ වෙනස් කම් වැසි වනාන්තර ඇති වීමටත් සවානා භූමි අහිමි වීමටත් හේතු වන්නට ඇත.

මෙය අපූර්ව හා විශ්මය ජනක සොයාගැනීමක් බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ නූතන වැසි වනාන්තර රැසක ගස්වලට යටින් ඇති පස් අතීත රොන් මඩ වලින් සමන්විත වන අතර ඒවායේ තෘණ වර්ගවල පරාග අති විශාල සංඛ්‍යාවක් හමුවන බවයි. අතීතයේ සවානා බිම්වල දඩයම් කරමින් ජීවත් වූ මානවයා ඒවා වැසි වනාන්තර බවට පරිවර්ථනය වීමට පෙර ඉර්‍රඟු වගා කළ බවට සාක්ෂි ද හමුවී ඇත.

දේශගුණික විපර්යාසත් සමග තෘණ භූමි වැසි වනාන්තර බවට පත්වෙද්දී ඇතැම් ජන කොටස් තවදුරටත් සවානා බිම්වලටම සංක්‍රමණය වී ඇති බවත් තවත් සුළු කොටසක් වැසි වනාන්තර භූමියේ ම ජීවත් වී ඇති බවත් පර්යේෂකයෝ කියති.