දීර්ග කාලයක් රටින් පිටව සිට තලේබාන් මරණ තර්ජන මැද යළි පාකිස්තානයට පැමිණි හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඊයේ (25) තම පක්ෂ ආධාරකරුවන්

හිටපු ජනපති මුෂාරෆ් පක්ෂ ආධාරකරුවන් අමතමින්...

අමතමින් කියා සිටියේ තලේබාන් සටන්කාමීන්ගේ තර්ජනවලට තමා බියක් නොදක්වන බවත්, ජීවිතය පූජා කරමින් හෝ පාකිස්තානය ‘බේරා’ ගැනීමට තමන් කැප වෙන බවත්ය.
පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන මුෂාරෆ්, යළි සිය රට පැමිණියේ පෙරේදා (24) ය. ඔහු පාකිස්තානයට පැමිණෙන බව ආරංචි වූ අවස්ථාවේදී පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය අනතුරු ඇඟවූයේ මුෂාරෆ් ඝාතනය කිරීමට දැනටමත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් යවා ඇති බවය.
තම පක්ෂ ආධාරකරුවන් අමතමින් මුෂාරෆ් වැඩි දුරටත් කියා සිටියේ දුෂණ වංචා හේතුවෙන් පාකිස්තානය අගාධයට වැටී ඇති බවත්, ඒවා තුරන් කර රට මුදා ගැනීමට තමා ඉදිරිපත්ව සිටින බවත්ය. කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැංවීමට පමණක් නොව දිළිඳුකම පිටුදැකීමට ද තමා කැපැ වී කි‍්‍රයා කරන බව ද මුෂාරෆ් ප‍්‍රතිඥා දුන්නේය.
මුෂාරෆ් යළි පාකිස්තානයට පැමිණියේ මැයි 11 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරග කිරීමටය. 
මුෂාරෆ් පාකිස්තානයට පැමිණි විගස ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි. ඒ, ඔහුට එරෙහි චෝදනා රැසක් එල්ල වී තිබීම නිසාය.ඒ අතර, හිටපු ජනාධිපතිවරයා නැවත පාකිස්තානයට පැමිණියහොත් ඝාතනය කරන බවට තලේබාන් සංවිධානය පසුගිය සතියේ අනතුරු අඟවා තිබුණි. 
කෙසේ නමුත් මුෂාරෆ් පාකිස්තානයේ සිටින ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි. 
අධිකරණයට බලපෑම් කිරීම, බලය අයථා ලෙස භාවිත කිරීම ආදී චෝදනා රැුසක් මුෂාරෆ්ට එරෙහිව එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් මුෂාරෆ්ට එරෙහිව නඩු පවරා ඇත.
මීට පස් වසරකට පෙර ජනපති ධුරයෙන් සමුගත් මුෂාරෆ් පාකිස්තානයෙන් පිටුවහල් වී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සහ ඩුබායිහි ජීවත් වුණේය. විදේශගතව සිටිද්දී මුෂාරෆ් ඔහුට හිතවාදී කණ්ඩායම් සමඟ එක්වී 2010 වසරේ දී ‘සෑම පාකිස්තානුවකුගේම මුස්ලිම් ලීගය’ යන නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීය. 
හමුදාපතිවරයාව සිටියදී කිසිදු ලේ වැගිරීමකින් තොරව, මුෂාරෆ් හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තාන ජනපති ධුරයට පත්වූයේ 2001 වසරේ දීය. 2008 තෙක් ඔහු පාකිස්තාන ජනපතිවරයා ලෙස කටයුතු කළේය. හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2007 වසරේ දී එම ධුරයට සමු දී 2008 තෙක් කටයුතු කළේ සිවිල් ජනපතිවරයකු ලෙසය.