ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ තලේබාන් සටන්කාමීන් ඉලක්ක කරගනිමින්, ඇෆ්ගනිස්තානයේ සිටින තම හමුදාව පෙරේදා (29) එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක වලියූර් රෙහ්මාන් මියගිය බවත් එම ප‍්‍රහාරය ඉතා සාර්ථක වූ බවත් ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාව මේ බව කියා සිටියේ පාකිස්තානයෙන් එල්ල වූ චෝදනාවකට ප‍්‍රතිචාර දක්වමිනි. ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී පාකිස්තාන රජයෙන් ඊට එරෙහිව දෝෂාරෝපණ රැසක් එල්ල විය.


පාකිස්තානය කීවේ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් සය දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් සිව් දෙනකු තුවාල ලැබූ බවත්ය.
එම ඩ්‍රෝන යානා ප‍්‍රහාරය එල්ල වූයේ උතුරු වසිරිස්තානයේ මිරන්ෂා නුවර අසල පිහිටි ගම්මානයකටය. ඇමෙරිකන් හමුදාව එම ප‍්‍රහාරය එල්ල කළේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු ද පාදක කර ගනිමිනි.


ඇමෙරිකාව එම ප‍්‍රහාරය එල්ල කළේ, පාකිස්තානයේ මීළඟ අගමැති ලෙස දිව්රුම් දීහමට නියමිතව සිටින මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ්, ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන ප‍්‍රහාර වහා නවත්වන්නැයි ඇමෙරිකාවට බල කර සිටින අවස්ථාවකදීය.
නවාස් ෂරීෆ් උත්සහ ගන්නේ පාකිස්තාන තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පවත්වා පවතින අර්බුදයට විසඳුමක් සෙවීමටය. සාම සාකච්ජා සඳහා තලේබාන් සංවිධානය ද කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.