සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ප‍්‍රධාන මුස්ලිම් පල්ලියකට ඊයේ (22) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 83 කට වැඩිය.
ප‍්‍රහාරය එල්ල වූයේ ඉමාන් මුස්ලිම් පල්ලියටය. එය සුන්නි මුස්ලිම් පල්ලියක් වන අතර මියගිය අය අතර පල්ලියේ ප‍්‍රධාන පූජක මොහොම්මඞ් අල් බූටී ද සිටී.
පූජක මොහොම්මඞ් අල් බූටී සිරියා රජයට සහ සිරියා ජනපතිට සහාය දක්වමින් කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිරන්තරයෙන් විවේචනය කළ අයෙකි.
සෑම සිකුරාදා දිනකම දේව මෙහෙය පවත්වද්දී ඔහු සිරියා කැරැලිකරුවන් විවේචනය කළේය.
ඉමාන් මුස්ලිම් පල්ලියට එල්ල වූ එම බෝම්බ ප‍්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් සිදු කරන ලද්දක් බවත්, එය ‘ත‍්‍රස්ත කි‍්‍රයාවක්’ බවත් සිරියානු රජය නිවේදනය කර තිබේ.
බෝම්බකරු පූජක මොහොම්මඞ් අල් බූටී අසලටම පැමිණ බෝම්බය පුපුරුවා ගත්තේ යැයි සිද්ධියෙන් තුවාල ලැබූවෝ පවසති. පූජක අල් බූටීට එල්ල වූ එම ප‍්‍රහාරය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට එල්ල වූ ‘මරු ප‍්‍රහාරයක්’ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.