ලිබියාවේ ටි‍්‍රපොලි නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කිරීම පිණිස යුද නෞකා දෙකක් සමඟ විශේෂ බලකා සෙබළ කණ්ඩායමක් යැවූ බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පනස්දෙනකුගෙන් සමන්විත විශේෂ පුහුණුවක් ලැබූ භට කණ්ඩායමක් සහ යුද නෞකා දෙකක් යැවීමට ඇමෙරිකා රජය තීරණය කළේ ලිබියාවේ සිටි ඇමෙරිකා තානාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවය. එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළ කරමින් ජනපති බැරැක් ඔබාමා අවධාරණය කළේ ලොව සෑම රටකම සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගන්නා බවය. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයත් සමඟ වහා කි‍්‍රයාත්මක වූ එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව ලිබියාවේ සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස මෙසේ යුද නෞකා සහ භට පිරිස් යැවූ බව පෙන්ටගන් ප‍්‍රකාශක ජෝර්ජ් ලිට්ල් පැවැසීය.