ජීවිත 112ක් බිලි ගනිමින් ඉකුත් මාසයේ බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක හට ගත් ගින්න එහි සේවය කළ අයෙකු විසින් සිදු කරන ලද කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් බව ඒ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන එරට රජය පත් කළ කොමිසම කියා සිටී. ගින්න ඇවිළ වූයේ කවුරුන්දැයි යන්න මෙහිදී වැදගත් නොවන බව පැවසූ එම කමිටුව සිය සේවකයන්ගේ ආරක්ෂාව නිසිලෙස තහවුරු නොකළ එහි හිමිකරුට දඬුවම් ලබා දිය යුතු බව ද අවධාරණය කර පැවැසීය. කම්හල් ගින්නේ සිදුවීමෙන් අනතුරුව රජයේ නිලධාරීන් පිරිසකට මෙන්ම කර්මාන්ත පාලනය කරන නිලධාරීන් ඊට වගකිවයුතු බව පවසමින් දෝෂාරෝපණ එල්ල වන්නට විය. හදිසි අවස්ථාවකදී කි‍්‍රයාත්මක වීම පිණිස නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබුණේ නම් සිදු වූ ජීවිත හානි අවම කර ගැනීමට හැකිව තිබූ බව එම කමිටුවේ අදහසයි. ඇඟලූම් කම්හල පිහිටි තට්ටු අටකින් සමන්විත ගොඩනැගිල්ලේ හදිසි අවස්ථාවකදී පිටවිය හැකි අයුරින් දොරටු තනා නොමැති බව සඳහන් කළ එම කමිටු ප‍්‍රධානී මයිනුද්දීන් කන්ඩෙකර් එම ගොඩනැගිල්ලේ නීත්‍යනුකූලව ඉදිකර ඇත්තේ මහල් තුනක් පමණක් බව ද කීය. රටේ ඇති ඇඟලූම් කම්හල්වල සේවය කරන්නන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ‘‘ප‍්‍රබල කාර්ය සාධක බලකායක්’’ පිහිටු වන්නැයි කමිටුව රජයට දන්වා සිටී. සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු එම කමිටුව සිද්ධිය පිළිබඳ අවසන් වාර්තාව පෙරේදා(17) බංග්ලාදේශ රජයට බාර දුන්නේය. මේ අතර සිද්ධිය පිළිබඳ තවත් පරීක්ෂණ දෙකක් තවමත් කි‍්‍රයාත්මක වේ. බංග්ලාදේශයේ අපනයනවලින් සියයට අසූවක දායකත්වකයක් දක්වන්නේ ඇඟලූම් කර්මාන්තයයි.