IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජපානයේ දේශපාලන හිසරදයට නැවතත් කොට්ට මාරුවක්

පසුගිය සතියේ බදාදා ජපානයේ පාර්ලිමේන්තු සැසි වාරයක් පැවැත්වෙන අතර තුරදී අගමැති යොෂිහිකෝ නෝඩා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වන බව හදිසියේම ප‍්‍රකාශයට පත් කළේය. 2009 දී පැවැති මහා මැතිවරණයෙන් ආසන 480 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 308 ක් දිනා ගනිමින් වාර්තාගත ජයග‍්‍රහණයක් හිමි කරගත් ජපානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට හෝ එහි අගමැතිවරයාට තවදුරටත් රට පාලනය කිරීමට වරමක් නොමැති නිසා මෙවැනි පියවරක් ගත් නමුත් දෙසැම්බර් 16 දා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් හෝ ස්ථාවර රජයක් පිහිටුවීමට හැකි වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. මෑතකදී පැවැත්වූ ජනමත විමසුම් අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එක දිගටම පාලන බලයේ සිටි ලිබරල් ඩිමොක‍්‍රාටික් පක්ෂයට නැවතවරක් පහසු ජයග‍්‍රහණයක් ලබා ගත හැකි වුවද ජපානය මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා ගැනීම අසීරු වනු ඇත. දෙසැම්බර් 16 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ නායක ෂිම්සෝ අබේ අගමැති තනතුරට පත්වුව හොත් ඒ පසුගිය වසර හතක කාලයක් තුළ අගමැති තනතුරට පත්වන හත්වැන්නා වේ. වරෙක සුපිරි නිෂ්පාදන ශක්තියෙන් යුත් කාර්මික බලවතෙකු වූ ජපානය පසුගිය වසර කීපය තුළ ලොව දෙවැනි විශාල ආර්ථිකයේ සිට තුන්වැනි තැනට පහළ වැටුණේය. 2008 මූල්‍ය අර්බුදය හට ගැනීමටත් පෙර සිටම නිෂ්පාදන පසුබෑමකට ලක්ව සිටි ජපානයට ඉන් ගොඩ ඒමට සුදුසු ආර්ථික වැඩ පිළිවෙළක් සකසා ගැනීමට මෙතෙක් හැකිව නැත. අසුවේ දශකයේ සිටම ලොව විශාලතම වෙළෙඳ අතිරික්තයකට හිමිකම් කී ජපානය ප‍්‍රථම වරට පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන්වූ කාර්තුවේදී වර්තන ගිණුමේ හිඟයක් වාර්තා කළේය. ඒ සමගම පසුගිය මාසයේදී වෙළෙඳ ශේෂයේද හිඟ ශේෂයක් වාර්තා විය. ඊට මූලික වශයෙන් හේතු වූයේ ජපානයේ ප‍්‍රධාන අපනයන මෙම කාර්තුවේදී සියයට 3.2 කින් පහත වැටීමය. අපනයන පහත වැටීමට තුඩු දුන් හේතු ගණනාවක් තිබිණි. ඉන් කැපී පෙනෙන සාධකය වන්නේ ජපානයේ ප‍්‍රධාන ගනුදෙනුකරුවා වන චීනය සමග චීන බසින් සියාඔයු හා ජපන් බසින් සෙන්කකු නමින් හැඳින්වෙන දුපත්වල අයිතිය පිළිබඳව හටගත් ආරවුලයි. ඊට අමතරව යුරෝපා සංගමයට අයත් රටවල පවතින ආර්ථික පසුබෑම නිසාද අපනයන ඉල්ලූම පහත වැටිණි. මෙම ආර්ථක පසුබෑම නිසා ලොව කීර්තිමත් වෙළෙඳ නාම බවට පත්ව සිටි ෂාප් පැනවිෂන් හා සෝනි වැනි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයේ දැවැන්ත සමාගම් මූල්‍ය අර්බුදවලට මුහුණ දී සිටී. ලොව අංක එකේ මෝටර් රථ නිෂ්පාදකයාවූ ටොයෝටා සමාගම දැනට සති කීපයකට පෙර තම නිෂ්පාදන වූ වාහන දශ ලක්ෂ දෙක හමාරක් කාර්මික දෝෂ නිසා ආපසු කැඳවීමට තීරණය කළේය. නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ ඇති වූ මෙම පසුබෑම ජපන් කොටස් වෙළෙඳපොළේ වාර්තාවූයේ එහි දර්ශක අගය 39,000 ක උපරිමයක සිට 9000 දක්වා පහත වැටීමෙනි. සමහර විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට ජපන් ආර්ථිකයේ වර්තමාන මූර්ත අගය පවතින්නේ 1993 දී පැවැති මට්ටමේය. එනම් දශක දෙකකට ආසන්න කාලයක් තුළ ජපන් ආර්ථිකයේ කිසිම වර්ධනයක් සිදුව නැත. මේ නිසා රජයට සිය වියහියදම් පුරවා ගැනීමට හා ආර්ථිකය පණගැන්වීමට දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ණයගැනීමට සිදුවිය. දැන් ජපානයේ රාජ්‍ය ණය ප‍්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතය හා සසඳන විට සියයට 230 කි. එය ලොව කාර්මික රටවල් අතුරෙන් ඉහළම අනුපාතයයි. මෙවැනි පසුබිමක් තුළ ජපානයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් එකකට හෝ ආර්ථිකය නගා සිටුවීමට සාර්ථක විසඳුම් සොයා ගත නොහැකි විය. 2009 වසරේදී පාලක ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය පරදවා එවකට විපක්ෂයේ සිටි ජපාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගතහැකි වූයේ ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ දුර්වලතාව නිසාය. එහෙත් බලයට පත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සුදුසු වැඩ පිළිවෙළක් නොතිබීම නිසා බලයේ සිටි වසර තුනක කාලයක් ඇතුළත අගමැතිවරුන් තිදෙනෙකු නම් කිරීමට සිදු විය. ඒ සමගම පිරිහෙන ජනප‍්‍රියතාව පවත්වා ගැනීම සඳහා වඩ වඩාත් ජාතිකවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවිය. චීන මුහුදේ දුපත්වල අයිතිය පිළිබඳව ආරවුල උත්සන්න වූයේද මෙවැනි නැඹුරුතා නිසාය. දෙරට අතර පවතින වෙළෙඳ හා ආර්ථික සබඳතා බිඳ වැටීම නොතකා මිනිස් වාසයට නුසුදුසු දුපත්වල අයිතිය ගැන දැඩි ස්ථාවර ගැනීමට දේශපාලන නායකත්වය සූදානම්ය. ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය ජයග‍්‍රහණය කළ ද මෙම ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ යැයි කිව නොහැක. එම පක්ෂයේ නායක ෂිම්සෝ අබේ අගමැතිව සිටියදී යුද්ධයේදී මිය ගිය රණවිරුවන් උදෙසා නිම කර ඇති විහාරස්ථානයකට යෑම චීනය ඇතුළු අසල්වැසි රටවල විරෝධයට හේතු විය. දැනට මත භේදයට තුඩුදී ඇති දුපත් සම්බන්ධයෙන්ද ඔහු දරන්නේ වඩාත් අන්තවාදී මතයකි. එම නිසා ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් කවර දේශපාලන පක්ෂයක් ජයග‍්‍රහණය කළ ද දැනට ජපානය මුහුණ දී ඇති දේශපාලන හා ආර්ථික ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ යැයි කිව නොහැකිය.

සටහන: මහින්ද හත්තක
ජපානයේ විපක්ෂ නායක ෂිම්සෝ අබේ ජපාන පාර්ලිමේන්තුව අගමැති යොෂිහිකෝ නෝඩා මෝටර් රථ කම්හලක්



අදහස් (0)

ජපානයේ දේශපාලන හිසරදයට නැවතත් කොට්ට මාරුවක්

මුතුකුඩ Saturday, 24 November 2012 07:19 PM

මධූ ජපානයත් විනාශ වෙනවා දකින්න ආසයි වගේ. (නි)

:       0       0

මධූ Friday, 23 November 2012 08:36 PM

ඇමරිකාවෙන් උපදේසයක් ගන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17809 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site