කියුබාවේ හවානා නුවරදී සැත්කමකට භාජන කෙරුණු වෙනිසියුලා නායක හියුගෝ චාවේස්ගේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්නැයි වෙනිසියුලානු ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය රජයට බල කර සිටී.
චාවේස් පිළිකා රෝගියකු බව හඳුනා ගැනුණේ ඉකුත් වසර මුලදීය. ඔහු ඉන්පසු අවස්ථා කිහිපයකදී කියුබාවට ගොස් ප‍්‍රතිකාර ලබා ගත්තේය.
මීට මාස කිහිපයකට පෙර පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජනවරමක් හිමි කර ගැනීමට සමත් වූ චාවේස් කියා සිටියේ පිළිකාව සමඟ සටන් කර ජය ගැනීමට තමන්ට හැකි වූ බවය. කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ඔහු යළි කියුබාවට ගියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ නිසාය.
මීළඟ ධුර කාලය සඳහා චාවේස් දිවුරුම් දීමට ඇත්තේ ලබන 10 වැනිදාය. විදෙස් පුවත් සේවා පවසන්නේ පසුගියදා සැත්කමට භාජන වූ චාවේස්ගේ තත්ත්වය බරපතළ බවය.
කෙසේ නමුත් වෙනිසියුලානු රජය පවසන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවය. චාවේස්ගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය ගැන ජනතාවට හෙලි කරන්නැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය රජයට බල කර සිටින්නේ එහෙයිනි.