ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමැතීය. එහිදී ට්‍රම්ප්ගේ වැඩි අවධානය යොමු වූයේ චීනය කෙරෙහිය.

2020 වසරේ පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයට චීනය මැදිහත් වූ බවටත්, එම මැදිහත් වීම නිසා එම ජනාධිපතිවරණයෙන් තමන්ට පරාජය අත්වුණු බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නැගීය.

2020 වසර වෙද්දී, ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ට්‍රම්ප්ය. 2020 ජනාධිපතිවරණයට ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වූයේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඉතිරි බැවිනි. එදා ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ය.

බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය විය. බයිඩන් ජනාධිපති ධුරයට පත්විය. ට්‍රම්ප්, සිය දෙවැනි සහ අවසන් ධුරයට පත් වූයේ 2024 ජනාධිපතිවරණයෙනි. ඒ විශිෂ්ට ජනවරමකිනි.

2020 දී ඡන්ද දායකයන් මිලියන 220 ක පිරිසකගේ දත්ත ගොනු චීනය විසින් ලබාගෙන ඇතැයි ට්‍රම්ප් ජාතිය අමතමින් කියා සිටියේය. ඒ බව විමර්ශනවලදී තහවුරු වුණු බව ද ට්‍රම්ප් අවධාරණය කළේය. ඉතිහාසයේ සිදුවුණු විශාලතම මැතිවරණ දත්ත උල්ලංඝනය මෙය බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී දීනය සමග ගැටුණි. ට්‍රම්ප්, චීනයට පළමු වරට තීරු බදු පැනවූයේ සිය පළමු ධුර කාලයේදීය. ඇමෙරිකාව චීනයටත්, චීනය ඇමෙරිකාවටත් පෙරළා තීරු බදු පැනවූ අතර, මේ වනවිට එය වෙළෙඳ යුද්ධයක් තෙක් දුරදිග ගොස් අවසන්ය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින්, චීනයට දොස් නැගීමත් චෝදනා කිරීමත් චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ට්‍රම්ප් එල්ල කරන චෝදනා චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසීය.