කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් ඉකුත් 18 වැනිදා යළි සිය රට පැමිණි බව රජය ප‍්‍රකාශ කළත්, තමා අනුමාන කරන්නේ චාවේස් මිය යන්නට ඇතැයි කියා යැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි.
චාවේස් වෙනිසියුලායට යළි පැමිණියේ ජනතා හරසර මධ්‍යයේය. තම ආදරණීය නායකයා යළි පැමිණෙනු දැක ගැනීමට මිලියන හතරකට වැඩි පිරිසක් කැරකස් නුවරත් එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළටත් රැස්ව සිටියහ. එහෙත් ඔවුන්ට චාවේස් දැක ගැනීමට අවස්ථාවක් නොලැබිණි.
කියුබාවේ සිට විශේෂ ගුවන් යානයකින් චාවේස්, වෙනිසියුලාවේ කැරකස් නුවරට පැමිණියේ කියුබාවේ දී ඔහුට ප‍්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් ද සමඟය.
වෙනිසියුලාවේ පැමිණි පසු චාවේස් හමුදා රෝහලකට ඇතුළත් කෙරුණි. සම්පූර්ණ සුවය ලැබීමට නම් වෙනිසියුලානු නායකයාට තව සති කිහිපයක් රෝහල් ගතව සිටීමට සිදුවේවි වෛද්‍යවරුන් පැවැසූ බව එම අවස්ථාවේදී වෙනිසියුලා උප ජනාධිපති නිකලස් මදුරෝ එම අවස්ථාවේදී පැවැසීය.
චාවේස් ප‍්‍රතිකාර ගනිමින් සිටින කාලයේ වෙනිසියුලාවේ පාලන කටයුතු බලා ගන්නේ උප ජනපතිවරයා ය. ඒ, සඳහා චාවේස් විසින් ඔහුට බලය පවරා දීමක් ද සිදු කර ඇත.
වෙනිසියුලාවේ අසල්වැසියකු වන බොලිවියානු නායක ඊවෝ මොරාලේස්, ඉකුත් 21 වැනිදා චාවේස්ගේ සුවදුක් බැලීමට වෙනිසියුලාවට ගියේය. එහෙත් ඔහුට චාවේස් හමුවීමට යෑමට වෙනිසියුලා බලධාරීහු අවසර නොදුන්හ.
චාවේස් වෙනිසියුලාවට රැගෙන ඒමට පෙර, වෙනිසියුලා රජය රෝහල් ඇඳක ප‍්‍රතිකාර ගන්නා චාවේස්ගේ ඡුායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. චාවේස්ගේ දියණියන් දෙදෙනා ද චාවේස් සමඟ සිටිනු එම ඡායාරූපවලින් දකින්න ලැබුණි.
ඉන්පසු චාවේස් ගැන කිසිදු හෝඩුවාවක් අසන්න නොලැබුණු බවත් රජය පවසන්නේ ඔහු වැඩිදුර ප‍්‍රතිකාර ගන්නා බවත් යැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් කියා සිටී.
චාවේස්, ඉතා සංකීර්ණ පිළිකා සැත්කමකට භාජන වූයේ ඉකුත් වසර අවසානයේදීය. සැත්කම ඉතා අවදානම් එකක් විය.
සැත්කමින් පසු චාවේස් පෙනහළු ආසාදනයකට ද ලක් වී ස්වසන අපහසුතාවකින් පෙළුණේය. එම අවස්ථාවේදී ඔහු ස්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කෙරුණි. තවමත් චාවේස්ට කතා කිරීමට නොහැකි අතර, ඔහු ආහාර ගන්නේත් හුස්ම ගන්නේත් බටයක ආධාරයෙනි.