සමාජීය, ආර්ථික සහ දේශපාලනික ගැටලූ මැද, අන් කවරදාටත් වඩා ගෝලීය උණුසුම ද හිටිහැටියේ ඉහළ ගොස් ඇති බවත්  හරිතාගාර වායු වැඩි වැඩියෙන් වායුගෝලයට එක් වී, ධ‍්‍රැව අයිස් තට්ටු දිය වී සාගර ජල මට්ටම ඉහළ යෑමට පටන් ගෙන ඇති බවත් එය වැළැක්වීමට මනුෂ්‍ය වර්ගයාට කළ හැකි දෙයක් නැති බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. එම සංවිධානයේ විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ කටාර් රාජ්‍යයේ ඩෝහා නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවේදීය. මේ වනවිට ගී‍්‍රන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවීමට පටන් ගෙන ඇති බවත්, ඇන්ටාක්ටිකාවෙන් කැඞී වෙන් වී සාගරයට එක් ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය තරම් විශාල අයිස් තට්ටුවක් බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙයි. සාගර ජලයට එක් වන එම අයිස් තට්ටුවේ ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් මිලියන 11.83  ක් බව ද පැවැසෙයි. ගෝලීය උණුසුම පිළිබඳ අවධානය යොමු වීමත් සමඟ ජගත් කාලගුණ විද්‍යා සංවිධානය ඒ ගැන විමසිලිමත් වීම ආරම්භ කළේ මීට වසර 10 කට පෙරය. මේ වසරේ එනම් 2012 දී එය ගෝලීය උණුසුම වාර්තා ගත මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් මීට මාස කීපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට, යුරෝපයට සහ රුසියාවට බලපෑ දරුණු නියඟ එහි ප‍්‍රතිඵලයක් බවත් ජගත් කාලගුණ විද්‍යා සංවිධාන පැහැදිලි කරයි. පරිසර උණුසුම් වීමත් සමඟ කාලගුණ පෙරැළි ඇතිවීමේ අවදානම ද ඉතා ඉහළ මට්ටමක පවතින බවත් පසුගිය දා ඇමෙරිකාවට කඩා වැදුණු ‘සැන්ඩි’ සුළිකුණාටුව එහි ප‍්‍රතිඵලයක් බවත් කාලගුණ විද්‍යා සංවිධානය වෙනුවෙන් එහි මහ ලේකම් මයිකල් ජුරාඞ් පවසයි. 1990 වසරේ දී ‘කියෝතෝ’ ප‍්‍රඥප්තියට අනුව ගෝලීය උණුසුම පිටුදැකීමට මානව වර්ගයා කටයුතු කළේ නම්, අද මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට මනුෂ්‍ය වර්ගයාට සිදු නොවනු ඇති බවත් දැන් ආපසු හැරීමට ප‍්‍රමාද වැඩි බවත් මහ ලේකම් ජුරාඞ්, කටාර් සමුළුවට රැස්ව සිටි මාධ්‍යවේදීන්ට කියා සිටියේය. ඩෝහා දේශගුණික සමුළුව පැවැත්වෙද්දී ...