පුද්ගලයෙකු මියගිය පසු අදාහනය කර හෝ භූමදානය කර ඔහුට හිමි ගෞරවය ලබාදෙනවා වෙනුවට මළ සිරුර උණ බම්බු වලින් තැනූ කූඩුවක බහා එයට ගෞරව දක්වන අපූරු චාරිත්‍ර විධියක් පැපුවා නිව්ගිනියාවේ අන්ගා ගෝත්‍රවාසී ජනතාව අතර දක්නට ඇත.

මෙවන් කූඩු අන්ගා ගම්මානයක් වටා ඉදිකර තිඛෙනු දැකගත හැකිය. පොළවෙන් ඉහළට විහිදෙන ශක්තිමත් උණ බම්බුවක් මුදුනේ කූඩුව පිහිටුවා තිබේ.

එක් කූඩුවක මළ සිරුරු දෙකක් හෝ තුනක් තිඛෙන අවස්ථාද ඇත.මළවුන් තම ආරක්ෂකයින් යැයිද ගම්මානය වටා ඔවුන් ස්ථානගත කිරීමෙන් තමන්ට ආරක්ෂාව සැළසෙන්නේයැයිද අන්ගා ගෝත්‍රවාසීහු විශ්වාස කරන්නෝය.

කූඩුවකට රැඳවීමට ප්‍රථමයෙන් මළ සිරුර ඊට විශේෂයෙන් පිළියෙළ කිරීම සිදුවේ. මුලින්ම සිරුරේ ඇති මේදය ඉවත් කෙරෙන අතර අනතුරුව දිව, අත්ල, යටිපතුල ආදී කොටස් කපා ඉවත් කෙරේ. වාතය ඇතුළුවීම වළක්වාලීමට මුඛය,නාසය හා ගුද මාර්ගය මසා දැමේ.

මළසිරුරේ මඩ තවරා වර්ණ ගැන්වෙන අතර එය කූඩුවේ රදවනු ලබන්නේ මේ සියලූ කටයුතු අවසාන වූ පසුවය.

ඇතැම් ගම්මානයන් වටා ඇති කූඩු වල වසර සියගණන් පැරැණි මළ සිරුරු ඇත.

මළ සිරුරෙන් ඉවත් කර ගත් මේදය හා අනෙක් ශරීර කොටස් ඥාතීන්ට භාර කෙරේ.මේද කොටස් වලින් ලබා ගන්නා තෙල් හිසෙහි හා සිරුරෙහි ආලේප කර ගැනීමෙන් මියගිය තැනැත්තා තමන්ට ආරක්ෂාව සළසන්නේයැයි ඔවුන් අතර පවතින තවත් විශ්වාසයකි.

ගම්මානයේ විශේෂ උත්සව අවස්ථාවක් වේ නම් ඒවාට ‘‘සහභාගී‘‘ කර ගැනීමට මෙම මළ සිරුරු කූඩුව පිටින්ම බිමට ගැනීමට ගෝත්‍ර වාසීහු කටයුතු කරන්නෝය.උත්සවය අවසාන වූ පසු එවා ඉක්මනින්ම තිබුණු ස්ථාන කරා ගෙන ගොස් ‘‘මුර සේවයේ‘‘ යෙදවීමටත් ඔවුහු වගබලා ගන්නෝය

කතෝලික පල්ලියේ බලපෑමෙන් මෙවන් චාරිත්‍ර විධි අභාවයට යමින් තිඛෙතත් පැපුවා නිව්ගිනියාවේ වත්මන් මානව ශිෂ්ටාචාරයේ ස්පර්ෂයක්වත් ලබා නොමැති ඇතැම් දුරබැහැර ප්‍රදේශවල ඒවා තවමත් කි්‍රයාත්මකය.