පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන යොවුන් මානව කි‍්‍රයාකාරිනියක ලෙස ප‍්‍රසිද්ධියට පත්  පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායී ඊයේ (17) ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් වාර්ෂිකව පිරිනමන, ‘හෘද සාක්ෂියට කන් දෙන මානව කි‍්‍රයාකාරියා’ යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවාය.

මේ වසරේ එම සම්මානය මලාලාට පමණක් නොව, ඇමෙරිකන් ගායක මෙන්ම මානව කි‍්‍රයාකාරියකු ද වන හැරී බෙලාෆොන්ට් අතරේ ද සමව බෙදී ගියේය.
බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කොට ගනිමින්, පිහිටුවා ඇති ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එම සම්මාන ප‍්‍රදාන උළෙල පැවැත්වූයේ අයර්ලන්තයේ ඩුඞ්ලින් නුවරදීය.

පාකිස්තාන දැරිය මලාලා මේ වනවිට ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලබා සිටින්නීය. ඉකුත් ජූලි 12 වැනිදා ඇය  ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණ බාලිකාවනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් ද පැවැත්වූවාය.

බාලිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප‍්‍රහාරයකට ලක්වී, බි‍්‍රතාන්‍යයේදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ, මලාලා වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ ලෙස නම් කර ඇත. මලාලාගේ උපන්දිනට යෙදී ඇත්තේ ද එදිනටය. ඉකුත් ජූලි 12 වැනිදා මලාලා සැමරුවේ ඇගේ 16 වැනි උපන් දිනයයි.

මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වූවාය. හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙණු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය.

දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.