රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජපානය අයිතිය ඉල්ලන, රුසියාවට අයත් කුරිල් දූපත් සමුහයේ, ඉටුරුප් දූපතේ කළ සංචාරයට ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි ප්‍රමුඛ රජයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මතභේදයට ලක් වුණු මෙම කුරිල් දූපත් සමුහයේ, ඉටුරුප් දූපතට ගිය පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. ජපන් අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, රුසියන් ජනාධිපතිවරයා මතභේදයට තුඩු දී ඇති දූපතේ සංචාරය කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවය.

ජපානය ඉටුරුප් දූපත හදුන්වන්නේ එටොරෝෆු යන නමිනි. රුසියන් ජනාධිපතිවරයා ඉටුරුප් දූපත වෙත යෑම, රුසියාව කෙරෙහි ජපාන ජනතාව තුළ පවතින පැහැදීම තවදුරටත් පළුදු වීමක් යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ජාත්‍යන්තර නීතියට අනුව මෙම දූපත් සමූහයේ අයිතිය ජපානය සතු බවත්, පුටින් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ජපන් ජනතාවගේ හැඟීම්වලට පහර දීමක් බවත් ජපන් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් අවධාරණය කර ඇත. ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටේගි ද පුටින්ගේ මෙම දූපත් සංචාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ජපානයේ හොකයිඩෝ සහ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය අතර පිහිටි මෙම කුරිල් දූපත් සමූහයේ දකුණු දෙසින් පිහිටි දූපත් හතරක අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර දශක ගණනාවක සිට මතභේදාත්මක තත්ත්වයක් පවතී.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී සෝවියට් සමූහාණ්ඩුව මෙම දූපත් අත්පත් කරගෙන එහි සිටි 17,000 කට ආසන්න ජපන් ජාතිකයන් පිටුවහල් කරන ලද අතර, දෙවැනි ලෝක යුද්ධය අවසන් වුවත් රුසියාව සහ ජපානය නිල සාම ගිවිසුමකට අත්සන් කර නැත. ඊට හේතුව, මෙම දූපත් ආරවුලය. රුසියාවට, කුරිල් දූපත් උපායමාර්ගිකව ඉතා වැදගත් වෙයි. ඉටුරුප් දූපතේ රුසියන් හමුදාවට අයත් ගුවන් කඳවුරක් ද ඇත.