ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන්තොටුපළ සමත්ව ඇත. ඉන්චියොන් ගුවන්තොටුපළ ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ජාත්‍යන්තර ගුවන්තොටුපළ කවුන්සිලයේ මූලික දත්තවලට අනුව, මේ වසරේ මුල් මාස හය තුළ පමණක් ජාත්‍යන්තර ගුවන් මගීන් මිලියන 38.4 කට සේවා සැපයීමට ඉන්චියොන් ගුවන්තොටුපළ කටයුතු කර තිබේ.

මෙතෙක් ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස සැලකුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර හිත්‍රෝ ගුවන්තොටුපොළ වන අතර, මේ වනවිට එය දෙවැනි ස්ථානයේ පසුවෙයි. මේ වසරේ මුල් මාස හය තුළ හීත්‍රෝ වෙත පැමිණි ජාත්‍යන්තර ගුවන් මගීන් ගණන මිලියන 37.7 කි.

ජාත්‍යන්තර ගුවන්තොටුපළ කවුන්සිලය පෙන්වා දෙන ආකාරයට තෙවැනි ස්ථානයේ ඇත්තේ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළය. මේ වසරේ මුල් මාස හය තුළ චැංගි ගුවන් මගීන් මිලියන 34.53 කට සේවා සපයා තිබේ.

2024 සහ 2025 වසරවල දෙවැනි ස්ථානයේ පසුවූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුබෑමකට ලක් වී ඇත. ඊට ප්‍රධානතම හේතුව ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන අර්බුදය යැයි ද පැවැසෙයි.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්, මීට පෙර ඩුබායි හරහා යුරෝපයට ගමන් කළ මගීන් රැසක් ඉන්චියොන් ගුවන්තොටුපළ වෙත යොමු වී ඇතැයි පැවැසෙයි.