බටහිිර හා මුස්ලිම් රාජ්‍යයන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණු කාන්තා හිංසනය පිටුදැකමේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනයට මුස්ලිම් රාජ්‍ය ගණනාවක් ඉකුත් 16 වැනිදා සිය එකඟතාව පළ කළේය.
කිසිදු චාරිත‍්‍රයක් සම්ප‍්‍රදායක් හෝ ආගමික කරුණක් පදනම් කරගෙන කාන්තාවන් හිංසනයට ලක් නොවිය යුතු බව කියැවෙන මෙම ප‍්‍රකාශනයට ඉරානය, ලිබියාව, සුඩානය ඇතුළු මුස්ලිම් රටවල් බොහොමයක් සිය එකඟතාව පළ කර ඇත.
මෙම ප‍්‍රකාශනයට මුස්ලිම් රටවල් එකඟවීම ඓතිහාසික ජයග‍්‍රහණයක් බව එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මිචෙල් බචිලෙට් පැවැසුවාය.
කාන්තාවන්ට හිංසාවන් සිදුවීමට අවස්ථාව සලසා ඇති නීති හා සම්ප‍්‍රදායයන් මුලිනුපුටා දැමීමට සෑම රටක්ම කැපවී කි‍්‍රයා කළ යුතු බව එම ප‍්‍රකාශනයේ දැක්වේ.
මෙම සමුළුවාරයේදී තලේබාන් සටන්කාමියකුගේ වෙඩි පහරට ලක්වූ පාකිස්තානයේ මලාලා දැරිය කාන්තා අධ්‍යාපනය නංවාලීම සඳහා සිදු කළ  සමාජ මෙහෙවර පිළිබඳවත් ඉන්දියාවේ හා අපි‍්‍රකානු රටවල සිදුවන ස්තී‍්‍ර දුෂණ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු විය.
එක්සත් ජාතීන්ගේ කාන්තා හිංසනය පිටුදැකීමේ ප‍්‍රකාශනය සම්මත කර ගැනීමට 2003 වසරේදී ගත් උත්සාහය අසාර්ථක විය.