පාප් පදවියට පත් ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පෙරේදා (16) රෝමයේ වතිකානුවේදී පළමු වරට මාධ්‍ය හමුවකට සහභාගී වූ අතර එම අවස්ථාවේදී පාප්තුමන් කියා සිටියේ කතෝලික පල්ලිය මෙන්ම කතෝලික සභාව ද දුප්පතුන් වෙනුවෙන් කැප විය යුතු බවය.
එම මාධ්‍ය හමුව පැවැත් වූයේ වතිකානයේ පිහිටි ශ‍්‍රවණාගාරයේදීය. ඊට දෙස් විදෙස් මාධ්‍යවේදීහු දහස් ගණනක් සහභාගී වූහ. මාධ්‍යවේදීන් අමතමින් පාප්තුමෝ ඉකුත් සතියේ සිස්ටයින් දෙව් මැදුරේ ඡන්ද විමසුම පැවැත්වීමට පෙර සිදුවූ සිදුවීමක් විස්තර කළෝය.
‘ඡන්ද විමසුමට අප සිස්ටයින් දෙව් මැදුරට රැස් වූ විට මට මගේ මිතුරු බ‍්‍රසීලයේ කාදිනල් ක්ලෝදියෝ හුම්ස් මුණ ගැසුණා. එතුමන් කීවා තුනෙන් දෙකක බහුතරයක් සමඟින් පාප් ධුරයට පත් වීම පහසු කටයුත්තක් නොවේ කියලා’ ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පැහැදිලි කළ සේක.
වැඩි ඡුන්ද හිමිකර ගනිමින් මා පාප් ධුරයට පත් වූ අවස්ථාවේදී එතුමන් යළි මා ළඟට ආවා. එතුමන් මට කීවා දුප්පතුන් කවදාවත් අමතක කරන්න එපා. ඔවුන් වෙනුවෙන් දිගටම කැප වෙන්න කියලා’ ඒ අවස්ථාවේ තමා මට අසීසියේ ශාන්ත ෆ‍්‍රාන්සිස්ගේ නම සිහියට ආවේ. එවිටයි මා කීවේ ෆ‍්‍රාන්සිස් පෙළපත් නාමය මා ගන්නවා කියලා’ යැයි පාප්තුමෝ මාධ්‍යවේදීන්ට පැවැසූහ.
පළමු ෆ‍්‍රැන්සිස් යන පෙළපත් නාමය භාවිත කරමින් පාප් පදවියට පත් වූයේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරුව සිටි මාරියෝ ජෝර්ජ් බර්ගොග්ලියෝ කාදිනල්තුමන්ය.
බුවනෝස් අයර්ස් අගරදගුරු ලෙස කටයුතු කරද්දී පවා තමා දුප්පතුන් වෙනුවෙන් කැප වී සිටි බවත් දැන් මුළු ලෝක වාසීන් වෙනුවෙන් කැපවන බවත් පාප්තුමන් පවසද්දී රැස්ව සිටි මාධ්‍යවේදීහු ඔල්වරසන් දෙන්නට වූහ.