කටාර්හි ඩෝහා නුවර වෙළඳ සංකීර්ණයක පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පෙරේදා (28) හටගත් ගින්නකට කුඩා දරුවන් 13 දෙනකු සහ ගුරුවරියෝ සිවුදෙනෙක් බිලි වූහ. ගින්න හටගත්තේ දෝහා නගරයේ බටහිර පෙදෙසෙහි පිහිටි විලාගියෝ වෙළඳ සංකීර්ණයේය. දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ එහි පළමු වැනි මහලේය. ගින්නට හසුවීමෙන් මියගිය අය අතර පිරිමි ළමයින් හය දෙනකු සහ ගැහැනු ළමයින් හත් දෙනකු සිටින බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔවුන් අතර නවසීලන්ත ජාතික තුන් නිවුන් දරුවන්ද, ස්පාඤ්ඤ ජාතික දරුවන් සිව් දෙනකු සහ ප‍්‍රංශ ජාතික දරුවන් තිදෙනකු ද සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් කියා සිටී. දිවා සුරැකුම් ඒකකයේ සිටි ගුරුවරියන් සිවුදෙනා මියගොස් ඇත්තේ දරුවන් ගින්නෙන් ආරක්ෂා කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදීය. ඊට අමතරව ඔවුන්ගේ සහායට පැමිණි වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීහු දෙදෙනෙක් ද ගින්නට හසුවීමෙන් මියගියහ. ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලැබූවන් සහ දුම් ආඝ‍්‍රාණය වූවන් 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ. ගින්න වාර්තා වූ සැණින් ගිනි නිවන භටයන් සහ සහන සේවකයන් කඩිනමින් වෙළෙඳ සංකීර්ණයට පැමිණ ඇත. බුර බුරා නැගෙන ගිනි දැල් සහ ඝන දුමාරය හේතුවෙන් ගිනි නිවන භටයන්ට වෙළෙඳ සංකීර්ණයට ඇතුළුවීමට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවී ඇත. ගින්න හටගත් අවස්ථාවේදී දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් 20 දෙනකු සිටි බව පැවැසේ. ගිනි නිවන භටයන් දරුවන් කිහිප දෙනකු බේරා ගත්තේ වහළයේ සිට රැහැනක් දමා පහළට බැසීමෙන් යැයි ද වාර්තා වේ. නවසීලන්ත ජාතික තුන් නිවුන් දරුවන් ගින්නට හසුවීම ගැන පුවත ඇසීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බව නවසීලන්ත අගමැති ජෝන් කී පවසා ඇත. ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ රජය ද පවසා ඇත්තේ කුඩා දරුවන් ජීවිතක්ෂයට පත් වීම හද කම්පා කරවන පුවතක් වූ බවය. ගින්න හට ගෙන ඇත්තේ උදෑසන 11 ට පමණය. මහත් පරිශ‍්‍රමයකින් පසු ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට ගිනි නිවන භටයන්ට හැකිවූයේ සවස 3 ට පමණය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඩෝහා ඔටුන්න හිමි කුමරු ෂීක් තමීම් බින් හමාද් අල් තානී ඊයේ (29) කියා සිටියේ අනතුර ගැන සෙවීමට විශේෂ කමිටුවක් පත් කරන බවය.