ප්‍රංශයෙන් නව ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභ්දයක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.  මෙම නව විකෘතිය ප්‍රංශ සෞඛ්‍ය අංශ නම් කර ඇත්තේ බී.1.640.2 යන නමිනි. ඊට අමතරව IHU ද යනුවෙන් මෙය හැඳින්වෙයි.

බී.1.640.2 - IHU නව විකෘතිය සහ ඒ සම්බන්ධ පර්යේෂණ වාර්තා ‘මෙඩ්රිව්’ වෛද්‍ය විද්‍යා සඟරාවේ පළ වී ඇත. අධ්‍යයන වාර්තා  අනුව මෙම නව විකෘතිය නිර්මාණය වී ඇත්තේ තවත් නව විකෘති 46 මුසුවීමෙනි. ඒ අනුව, මෙම නව විකෘතිය ‘ඔමික්‍රෝන්’ අභිබවා යන බව පැවැසෙයි.

මේ වනවිට ප්‍රංශයේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ප්‍රංශයේ ප්‍රධාන විකෘතිය බවට පත් වී ඇති අතර එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ලක්ෂ දෙක ඉක්මවයි.

කෙසේ නමුත්, බී.1.640.2 - IHU විකෘතියේ ආරම්භය සිදුවී ඇත්තේ ප්‍රංශයෙන් ද නැතිනම් මධ්‍යධරණී රටකින් ද යන්න සම්බන්ධයෙන් ප්‍රංශ වෛද්‍ය පර්යේෂකයන් අතරේ සැකයක් පවතී.

මේ වනවිට මාර්සේල් නුවරින් බී.1.640.2 ආසාදිතයන් 12 දෙනකු හමුවී ඇති බව පැවැසෙයි. බී.1.640.2 - IHU විකෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ දත්ත වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කළ බව ද ප්‍රංශ සෞඛ්‍ය අංශ කියයි.

බී.1.640.2 - IHU ග්‍රීක හෝඩියේ අක්ෂරයකින් නම් කිරීම ඉදිරියේ දී සිදුවනු ඇත. එය සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නව විකෘතිය විශ්ලේෂණය කර එය බිහිසුණු ද නැද්ද යන්න තහවුරු කිරීමෙන් පසුවය.

(රොයිටර්)