සිය යුරෝපීය සංචාරයේ දෙවන අදියර ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්ලොවේකියාවේ බ්‍රැටිස්ලාවා අගනුවරට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා  ස්ලොවේකියාවට පැමිණියේ, ස්ලෝවැකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ විශේෂ ආරාධනයකට අනුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ස්ලොවේකියාවේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

අග්‍රාමාත්‍ය මෝදි තෙදිනක් ස්ලෝවැකියාවේ රැඳී සිටිනු ඇත. මධ්‍යම යුරෝපයේ පිහිටි ස්ලෝවැකියාව සතර දිගින්ම ගොඩබිමෙන් වටවූ ඉතාමත් සුන්දර රාජ්‍යයකි. පෝලන්තය, යුක්‍රේනය, හංගේරියාව, ඔස්ට්‍රියාව සහ චෙක් ජනරජය යන රටවලින් වටවී ඇති මෙහි අගනුවර මෙන්ම විශාලතම නගරය වන්නේ බ්‍රැටිස්ලාවා නුවරය. ප්‍රසිද්ධ ඩැනියුබ් ගඟ අද්දර පිහිටි බ්‍රැටිස්ලාවා නගරය ඔස්ට්‍රියාව සහ හංගේරියාව යන රටවල් දෙකේම දේශසීමාවලට ආසන්නයෙන් පිහිටයි.

බ්‍රැටිස්ලාවා ගුවන් තොටුපළ වෙත ළඟා වූ අග්‍රාමාත්‍ය මෝදි, උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ස්ලොවේකියා විදේශ අමාත්‍ය යුරාජ් බ්ලානර් විසිනි. ස්ලෝවැකියා සංස්කෘතියට අනුව පාන් සහ ලුණු පිරිනමමින් සුවිශේෂී සාම්ප්‍රදායික පිළිගැනීමක් පිරිනැමුණු අතර, දේශීය කලාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංස්කෘතික නර්තනාංගයන්ගෙන් ද එම අවස්ථාව වර්ණවත් විය. 

මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ සහ එරට ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

මෙම සාකච්ඡා ප්‍රධාන වශයෙන්ම වෙළෙඳ, ආයෝජන, නවෝත්පාදන, මෝටර් රථ නිෂ්පාදන, දුම්රිය මාර්ග සංවර්ධනය සහ අනෙකුත් උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි යොමු වනු ඇත.