IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


එක රටක් ක‍්‍රම දෙකක් තවත් කොපමණ කලකටද?

ශතක එක හමාරකට ආසන්න කාලයක් බි‍්‍රතාන්‍යයේ පාලනයට යටත්ව තිබූ කුඩා දිවයින් රාජ්‍යයක් වන හොංකොං 1997 දී චීනයේ පාලනයට ආපසු භාරදීම වැදගත් වන්නේ කොමියුනිස්ට් පාලනයක් පවතින්නේ යැයි කියන චීනය යටතේ මූල්‍ය ප‍්‍රාග්ධනයේ අගනුවරක් වූ හොංකොං නගරය පාලනය වීම නිසායි. බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තම ආනයන හා අපනයන වෙළෙඳාමේත් බැංකු හා මූල්‍ය කටයුතුවලදීත් ප‍්‍රමුඛස්ථානයක් හිමිකරගෙන සිටි හොංකොං, කොමියුනිස්ට් පක්ෂයේ ආධිපත්‍යයට යටත් කිරීමට චීනය උනන්දු වූයේ නැත. ඒ වෙනුවට හොංකොං හි ධනවාදී පාලන ක‍්‍රමය ඒ ආකාරයටම පවත්වා ගැනීමට කැප වූ චීනය එහි පරිපාලන කටයුතු ද සැලකිය යුතු මට්ටමකින් ස්වාධීනව පවත්වාගෙන යෑමට සැලසුම් කළේය. මාක්ස්වාදී චින්තනය අනුව නව අත්හදා බැලීමක් වූ මෙම ක‍්‍රමය හඳුන්වන ලද්දේ එක රටක් ක‍්‍රම දෙකක් යන සංකල්පයෙනි. ඉන් අදහස් කරන ලද්දේ අභ්‍යන්තර පරිපාලන කටයුතු සහ වෙනමම මුදල් ඒකකයක් හා මධ්‍යම බැංකුවක් පවත්වාගෙන යෑමට හොංකොං ඒකකයට නිදහසක් ලැබෙන අතර විදේශ සම්බන්ධතා පිළිබඳ සියලූ වගකීම් හිමි වන්නේ බීජිං පාලනයටයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ ධනවාදී අර්ථ ක‍්‍රමයක් පවත්වා ගෙන යෑමය. දශක එක හමාරක කාලයක් මෙම අත්හදා බැලීම බරපතළ අර්බුදකාරී තත්ත්ව ආදියට ලක් නොවී පවත්වාගෙන ආ නමුත් එහි අනාගතය කෙබඳු විය හැකි ද යන්න අවිනිශ්චිත බවට ඉඟි පහළ වී ඇති බව පෙනේ. ප‍්‍රදේශයේ පවතින භූගෝලිය යථාර්ථය සැලකිල්ලට නොගන්නා සමහර කොටස් හොංකොං නගරය චීන කොමියුනිස්ට් පාලනයෙන් මිදී ස්වාධීන ඒකකයක් විය යුතු යැයි සමහරවිට විදෙස් බලවතුන්ගේ සහාය ලබන්නේ යැයි කිව හැකි කණ්ඩායමක් දිගටම කි‍්‍රයාත්මක වුවද හොංකොං හි චීන ආධිපත්‍යයට දැඩි අභියෝගයක් මෙතෙක් ඉදිරිපත් වූයේ නැත. එහෙත් හොංකොං පාසල් විෂය මාලාවට චීන ඉතිහාසය එක් කළ යුතු යැයි එහි අධ්‍යාපන බලධාරින් තීරණය කිරීම එක අතකින් දෙබරයකට ගල් ගැසීමක් මෙන් විය. චීන ඉතිහාසය ඉගැන්වීම යනුවෙන් අදහස් කරන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ළමයින්ගේ මනසට බලහත්කාරයෙන් රිංගවීමක් ලෙස හැඳින්වූ විපක්ෂය ඊට විරුද්ධව දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපක්ෂය නමින් හැඳින්වෙන ඔවුහු මෙම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයේ අරමුණ වන්නේ 2020න් පසුව හොංකොං ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම බීජිං පාලනයට නතු කිරීම බව අවධාරණය කළහ. මවුපියන් හා ශිෂ්‍යයින් එකතුකරගත් මෙම විරෝධතා ව්‍යාපාරය පසුගිය ජූනි මාසයේ දී ප‍්‍රධාන විධායක තනතුරට පත් ලියුන් චුන්යින්ග් ගේ පාලනයට දැඩි අභියෝගයක් විය. තත්ත්වය පාලනයෙන් ගිලිහී යෑමට පෙර හොංකොං බලධාරීහු අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා ඉවත් කර ගත්හ. ඒ බීජිං පාලනයෙන් මිදී ස්වාධීන පාලනයක් වෙනුවෙන් සටන් කරන විපක්ෂයේ කැපී පෙනෙන ජයග‍්‍රහණයකි. ජනතාව පෙළ ගැසීමෙන් පාලකයින් පසු බැස්සවිය හැකි බවට ඉඟියකි. විපක්ෂ කණ්ඩායම්වලට තම බලය ප‍්‍රදර්ශනය කිරීමට උදව් තවත් අවස්ථාවක් වූයේ පසුගිය සති අන්තයේ පැවති ඡන්ද විමසීමයි. එහිදී විපක්ෂයට බහුතරයක් දිනා ගැනීමට හැකි වුවහොත් දැනට සැලසුම්කර ඇති ආකාරයට 2020 දී නව පාලන ක‍්‍රමයක් හඳුන්වා දීමේදී ඔවුන්ට වඩාත් ප‍්‍රබල බලපෑමක් කළ හැක. විශේෂයෙන් වැදගත් වන්නේ 2020න් පසුව බීජිං මැදිහත්වීම අවම කරන පාලන ව්‍යුහයක් සම්මත කර ගැනීමය. නොඑසේ නම් පැරැණි සෝවියට් සංගමයට යටත්ව තිබූ නිදහස ලබාගත් යුකේ‍්‍රනය, ජෝර්ජියාව වැනි රටවල හටගත් ආකාරයේ වර්ණවත් විප්ලවයක ආරම්භයක් වීමට ඉඩ තිබිණි. එහෙත් පසුගිය ඉරිදා පැවැති ඡන්ද විමසීමේ දී විපක්ෂ කණ්ඩායම්වලට කැපී පෙනෙන ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. දශ ලක්ෂ 5.3ක් පමණ වන ඡන්ද දායකයින්ගෙන් සියයට 53ක් ඡන්දය ප‍්‍රකාශ කිරීම විපක්ෂයේ ජයග‍්‍රහණයට හේතුවනු ඇතැයි නිරීක්ෂකයින් පැවසුවද ඡන්ද ගණන් කිරීම අවසානයේ දී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය කරට කර සිටින තත්වයක් උදාවිය. හොංකොං හි පවතින මැතිවරණ ක‍්‍රමය අනුව මුළු ආසන සංඛ්‍යාව වූ 70න් ආසන 40ක් සඳහා ඍජු ඡන්ද විමසීමක් පැවැත්වේ. ඡන්ද කොට්ඨාස අනුව වෙන්වන එම ආසන සංඛ්‍යාවෙන් ආසන 18 ක් විපක්ෂය දිනාගත් අතර ආණ්ඩු පක්ෂයට ආසන 17ක් හිමිවිය. ඊට අමතරව දිස්ති‍්‍රක්ක මට්ටමෙන් පවත්වන සුපිරි ආසන සඳහා වූ ඡන්ද විමසීමේදී විපක්ෂයට ආසන 3ක් හිමිවූ අතර ආණ්ඩු පක්ෂයට දිනාගත හැකිවූයේ දෙකක් පමණි. එහෙත් ව්‍යාපාරිකයින් වෘත්තියවේදීන් වැනි විශේෂ ජන කොටස්වලට පමණක් ඡන්ද බලය ලැබෙන ආසන 30න් විපක්ෂයට දිනාගත හැකිවූයේ ආසන හයක් පමණි. ඒ අනුව හොංකොං ව්‍යවස්ථාදායකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම ලෙස හැඳින්වෙන විපක්ෂයට හිමි මුළු ආසන සංඛ්‍යාව 27කි. මුළු ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක ප‍්‍රමාණයක් විපක්ෂයට හිමිවීම නිසා ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකේ බලය නැතිවීම පමණක් වැදගත් සාධකයක් වේ. එහෙත් එය විපක්ෂය බලාපොරොත්තුවූ ආකාරයේ සුවිශේෂි ජයග‍්‍රහණයක් නොවේ. මේ නිසා විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන එකතුව වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ඇල්බර්ට් හෝ සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. මෙම ඡන්ද විමසීමේ දී බීජිනයට හිතවාදී ආණ්ඩු පක්ෂයට හොංකොං ව්‍යවස්ථාදායකයේ බහුතරය රැක ගැනීමට හැකිවුවද දීර්ඝ කාලින ප‍්‍රවණතාව එතරම් යහපත් විය නොහැක. සමහර ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේදී ව්‍යවස්ථාදායකයේ බහුතරයක් පැවතීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව නැගුණු විරෝධයත් ඒ හමුවේ රජයට පසු බැසීමට සිදුවීමෙනුත් දක්නට ලැබිණ. මීට අමතර නිවාස හා සෞඛ්‍යයද එහි ජන ජීවිතයට බලපාන ගැටලූ බව බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. දැනට පවතින ලෝක ආර්ථික පසුබෑම හා මූල්‍ය වෙළෙඳපොළ තවමත් පවතින අර්බුදකාරී තත්ත්වයත් එක රටක් ක‍්‍රම දෙකක් යන ප‍්‍රතිපත්තිය දැඩි ලෙස අභියෝගයට ලක් කරවන බව පැහැදිලිය. චීනය තුළම පවතින දුෂණ හා ජනමතය නොසලකා හැරීම හොං කොං අර්බුදකාරී තත්ත්වයකට ගෙනයෑම ඉක්මන් කිරීමට බෙහෙවින් ඉඩ ඇත.

සටහන : මහින්ද හත්තක
හොංකොං අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට ශිෂ්‍ය විරෝධතා චීනයේ ජනගහණ වර්ධනය පෙන්නුම් කරමින් දැවැන්ත ගොඩනැගිලි ඉදිවී ඡන්දය ගණන් කරමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට පෝලිමේ රැඳී සිටි අයුරු



අදහස් (0)

එක රටක් ක‍්‍රම දෙකක් තවත් කොපමණ කලකටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site