දකුණු කොරියාවේ මිතුරෙකු වී, දකුණු කොරියාවට සහාය දෙමින්, ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව උතුරු කොරියාව ‘අවුස්සන’ බවත් එහි අරමුණ උතුරු කොරියා රජය පෙරැළීම බවත් එය ඇමෙරිකාවේ දීර්ඝ කාලීන සැලැස්මක් බවත් එක්සත් ජාතීන්ගේ යුද විරෝධී කමිටුව පෙන්වා දෙයි.
මේ බව අනාවරණය කළේ එම කමිටුවේ ප‍්‍රධානී ජෝ ලොස්බේකර්ය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පාමින් ඇමෙරිකාව එරටට සම්බාධක පනවා එරට ලොවෙන් හුදෙකලා කිරීමද එම සැලැස්මේ ප‍්‍රධාන අංගයක් බව ද ලොස්බේකර් පෙන්වා දෙයි.
මහා පරිමාණයේ යුද්ධයට සූදානම් වන්නැයි උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං උන් දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් අනතුරු ඇඟවූයේ මිට සති කිහිපයකට පෙරය. දිනෙන් දින එම අනතුරු ඇඟවීම් අලූත් විය. 
කොයිමොහොතේ හෝ උතුරු කොරියාව යුද්ධයක් ආරම්භ කරාවිදැයි යන බිය මේ වනවිට මුළු ලොව පුරාම පැතිර ගොස් අවසන්ය.
ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාවේ තර්ජන සුළුකොට තැකිය නොහැකි නමුත් තමන් සමඟ ‘හැප්පීමට’ ඔවුන්ට ශක්තියක් නැති බවත්ය. දකුණු කොරියාව කීවේ උතුරු කොරියාවෙන් එල්ල වන  ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින්, එරටට එරෙහිව නව වෙළෙඳ, ආර්ථික සහ රාජ්‍ය තාන්ති‍්‍රක සම්බාධක රැසක් ද පැනැවීමට මේ වනවිට කටයුතු යොදා ඇත.
උතුරු කොරියාව චෝදනා කරන්නේ තම රටට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පෙළඹවූයේ දකුණු කොරියාව කියාය.