ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය, ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ බලධාරීහු නිවේදනය කළහ. ගාසා යුද්ධය සහ ඇමෙරිකා, ඉරාන, ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මැතිවරණයට ඉදිරිපත් වෙයි. ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ මෙම මැතිවරණය අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ ජනප්‍රියත්වය තීරණය කරනු ඇති බවය.

ගාසා යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ඉරානය සම්බන්ධයෙන් ද යුද ගැටුමකට පැටලීම සම්බන්ධයෙන් ඊශ්‍රායල වැසියන්ගෙන්ම අග්‍රාමාත්‍ය නෙදන්යාහුට විරෝධයක් එල්ල වෙමින් පවතී.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි. පාර්ලිමේන්තුව ආසන 120 කින් සමන්විතය. මෙය එක් මන්ත්‍රී මණ්ඩලයකින් පමණක් සමන්විත වෙයි. ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෝ පහළ මන්ත්‍රී මණ්ඩලය ලෙස මන්ත්‍රී මණ්ඩල දෙකක් නැත.

මුළු රටම එකම මැතිවරණ කොට්ඨාශයක් ලෙස සලකා සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවෙයි.