සිරියානු හමුදාව, තම පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ ස්ථාන දෙකකට රොකට් ප‍්‍රහාර එල්ල කළ බව ඊශ‍්‍රායලය ඊයේ (7) චෝදනා කළේය.
ගෝලාන් කඳුකරය කලක් සිරියාවට අයත්ව තිබුණි. එය ඊශ‍්‍රායලය අතට පත්වුණේ 1981 වසරේ දී පැවැති සය දින යුද්ධයෙන් පසුවය.
විදෙස් රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද කියා සිටින්නේ ඊශ‍්‍රායලය ගෝලාන් කඳුකරයේ ප‍්‍රදේශ අත්පත් කර ගැනීම ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක් කියාය.
සිරියාව එම ප‍්‍රහාරය එල්ල කළේ ඉකුත් 4 වැනිදා ඊශ‍්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඩමැස්කස් අගනුවර ඇතුළු ස්ථාන කීපයකට එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දැක්වීමක් වශයෙන් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඊශ‍්‍රායලය එල්ල කළ ප‍්‍රහාරයේ ඉලක්කය වූයේ සිරියා හමුදාව සතු ආයුධ ගබඩා කිහිපයකි. ඊශ‍්‍රායලය පවසන්නේ සිරියා රජයේ මිතුරා වන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ දීමට බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය කටයුතු කරන බවත් එය නැවැත්වීමේ අරමුණින් තමන් සිරියාවේ ආයුධ ගබඩා කීපයකට පහර දුන් බවත්ය.
ඊශ‍්‍රායලය එල්ල කළ එම ප‍්‍රහාරය සිරියාවේ පමණක් නොව චීනයේ ද දැඩි දෝෂ දර්ශනයට හේතු වී ඇත. ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හෙට (9) චීනයේ සංචාරය කිරීමට නියමිත අතර සිරියා අර්බුදය සම්බන්ධයෙන් චීන ජනපති සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ. ඊශ‍්‍රායලය සිරියාවට එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරය සාධාරණීය කරමින් ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ පත්වීම වැළැක්වීමට කටයුතු කිරීමට ඊශ‍්‍රායලයට අයිතියක් ඇති බවය.