තායිලන්තයේ පටානි පළාතේදී ඉස්ලාම් සටන්කාමීන් පිරිසක් ඊයේ(9) එල්ල කළ වෙඩි පහරින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධියෙන් මියගිය අය අතර ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනෙක් ද සිටි බව වාර්තා වේ. මෙම පිරිසට වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ට‍්‍රක් රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවකදීය. මීට අමතරව යලා සහ සොන්ග්ලා යන ප‍්‍රදේශවලදී සටන්කාමීන් එල්ල කළ වෙඩි පහරින් සිවිල් වැසියන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව තායිලන්ත ආරක්ෂක අංශ පවසයි. දකුණු තායිලන්තයේ වසර අටක් තිස්සේ පවතින වාර්ගික ගැටුම් හේතුවෙන් මේ වන විට 5,300ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තායිලන්ත රජය මෙම සටන්කාමීන් සමඟව සාම කතා පැවැත්වීමට උත්සාහ ගත්තද ඒවා අසාර්ථක විය.