ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහා එම න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමට සංකීර්ණ පරිගණක වයිරස නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරමින් මැද පෙරදිග අර්බුදයක් ඇති කිරීම වෙනුවට අන්තර් ජාලය හරහා සංකීර්ණ පරිගණක වයිරස යවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පරිගණක සියල්ල අකි‍්‍රය කිරීම හිටපු ඇමෙරිකා ජනපති බුෂ් සහ ඔහුගේ පරිගණක විශ්ලේෂකයන්ගේ සැලැස්ම වී තිබේ. 2008 වසරේ දී බුෂ්ගෙන් පසු ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් බැරැක් ඔබාමා ද 2009 වසරේ දී එම පරිගණක වයිරස සැකසීමේ වැඩසටහන තවත් ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබේ. එම වයිසර හේතුවෙන් අවස්ථා කීපයකදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට බාධා සිදුවූ බව ඉරානය ද පවසා තිබේ. මේ වනවිට ලෝකයට තර්ජනයක් වී ඇති පරිගණක වයිසරය නිපදවා ඇත්තේ ද ඇමෙරිකාවයි. ඒ, ඉරානයේ සහ මැදපෙරදිග රටවල රාජ්‍ය රහස් පිටපත් කර ගැනීමේ අරමුණ ඇතිවය.