ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත සීමාවක් පැනවීම පිළිබඳව ඇමෙරිකා රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ(11) පැවැසීය. ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් එක්ව එවැනි පියවරක් නොගතහොත් ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන අඛණ්ඩව සිදු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත සීමාවක් පැනවිය යුතු බව කී අගමැතිවරයා යම් අවස්ථාවක එම සීමාව ඉක්මවා ඉරානය කටයුතු කළහොත් එහි ප‍්‍රතිවිපාක අත්විඳීමට සිදුවන අයුරින් එම සීමාවන් පැනවිය යුතු බව අවධාරණය කළේය. මෙම පියවර ගනු ලබන්නේ ඉරානයට සම්බාධක පැනවීමෙන් හෝ බලපෑම් එල්ල කිරීමකින් නොවන බවත් ඔහු කීය. ඉකුත් සතියේදී ඊශ‍්‍රායලය ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්වන බවට පැතිර ගිය තොරතුර සම්බන්ධයෙන් ඇමෙරිකාව තරමක් නොසන්සුන් විය. මේ වන විට ඇමෙරිකාව පර්සියා ගල්ෆ් ප‍්‍රදේශයේ නාවික බලය වැඩි කර තිබේ. මේ සම්බන්ධයෙන් ඊශ‍්‍රායල ජනපති සිමොන් පෙරේස් ඇමෙරිකාවට සිය කෘතඥතාවය පළ කර ඇති බව ද වාර්තා වේ.