මධ්‍යම ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් සහ දකුණු ඉරාකයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගෙන ඊයේ(13)  එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 59 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් එරට ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. මෙම බෝම්බ ප‍්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවකදීය. මෙම ප‍්‍රහාර එල්ල වී ඇත්තේ බැග්ඩෑඞ්, හිලා, බාර්කා,   සහ බලාඞ් යන නගරවලටය. හිලා නගරයේ අවන්හලක් ආසන්නයේදී  කාර් බෝම්බ දෙකක් පුපුරායාමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතරතුර බැග්ඩෑඞ් නගරයෙන් බෝම්බ පිපිරීමේ සිදුවීම් නමයක් සහ වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. ඊට අමතරව දියාලා පළාතේ බාර්කා නගරයේ සහ බැග්ඩෑඞ් නගරයට උතුරින් පිහිටි බලාඞ් යන නගරවල සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 9 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඉරාකය තුළ ප‍්‍රචණ්ඩකි‍්‍රයා වර්ධනයවීමට අල්කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාර හේතු වී තිබේ. ඉස්ලාමීය සටන්කාමීන් මෙලෙස ශියා ආගමික උත්සව ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කරනුයේ අන්තවාදී ගැටුම් ඇවිළවීමේ අරමුණින් බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සුන්නි අන්තවාදි ඉලක්කය වී ඇත්තේ ඉරාක වැසියන්ගෙන් බහුතරයක් වන ෂියා මුස්ලිම්වරුන්ය.හිලා නගරයේ කාර් බෝම්බය පුපුරා ගිය ස්ථානය