ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අධිකරණ අමත්‍යාංශ ගොඩනැගිල්ලට පෙරේදා (14) සටන්කාමීන් එල්ල කළ ඉතා සැලැසුම්සහගත ප‍්‍රහාරයකින් පුද්ගලයෝ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 58 කි.
බැග්ඩෑඞ්නුවර අධි ආරක්ෂක කලාපයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලට සටන්කාමීන් කඩා වැදුණේ පොලිස් නිල ඇඳුමින් සැරසී යැයි ආරක්ෂක අංශ පවසයි. 
ඔවුන් පළමුවෙන්ම ගොඩනැගිල්ල ඉදිරිපිට පාරේ කාර් බෝම්බයක් පුපුරුවා හැර ඇත. ඉන්පසු මරාගෙන මැරෙන බෝම්බකරුවකු ගොඩනැගිල්ලට කඩා වැදී බෝම්බය පුපුරුවා ගෙන ඇත.
හටගත් කලබලය මැද සෙසු සටන්කාමීන් ගොඩනැගිල්ලට ඇතුළු වී අත් බෝම්බවලින් පහර දෙමින් වෙඩි තැබුවේ යැයි ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
සටන්කාමීන් ගොඩනැගිල්ලට ඇතුළු වූ අවස්ථාවේදී ඉරාක හමුදාවත් පොලිසියත් වහා කි‍්‍රයාත්මක වී ගොඩනැගිල්ල වටකොට ඔවුන්ට පහර දීමට පටන් ගෙන ඇත. දෙපිරිස අතර පැය කිහිපයක් වෙඩි හුවමාරු පැවැති බව ද වාර්තා වේ.
ඉරාක මාධ්‍ය වාර්තා පවසන්නේ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් සටන්කාමීන් සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවය.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ එය ඉරාකයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ කුරිරු කි‍්‍රයාවක් කියාය. ඉස්ලාමීය රාජ්‍යයක් වන ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ එම අල් කයිඩා සාමාජිකයෝය.
ඉරාක යුද්ධය අවසන් කර ඇමෙරිකා හමුදා ඉරානයෙන් පිටවී ගොස් වසරක පමණ කාලයක් ගත වී ඇතත් රටේ සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බව ඉරාක රජය පවසයි.
ඉරාකයේ ආගමික සහ වාර්ගික ගැටුම් ද උත්සන්න වෙමින් පවතින අතර රට මුළුමනින්ම අස්ථාවර වී ඇත.