දූෂණ චේදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඩුවම් විදින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි ඉල්ලමින්, ඔහුගේ ‘තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය ලබන 27 වැනිදා පාකිස්තානය පුරා දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇත.

තමන්ට එල්ල වන දූෂණ චෝදනා, 73 හැවිරිදි ඉම්රාන් තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉම්රාන් පවසන්නේ, තමන් දේශපාලන පළිගැනීමට ලක්වුණු බවය.

බන්ධනාගාරයේ දී ඉම්රාන් වධ හිංසාවලට ලක් වෙනවා යැයි ඔහුලේ පවුලේ සාමාජිකයන් මෙන්ම, ‘තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ පක්ෂය ද චෝදනා නගා ඇත. මෙම චෝදනා සැලකිල්ලට ගනිමින්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව, බන්ධනාගාරයෙන් පෞද්ගලික රෝහලකට මාරු කෙරුණි. එහිදී ඉම්රාන් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවත් යළි රාවුල්පිණ්ඩි අඩියාලා බන්ධනාගාරයට රැගෙන ගිය බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයකු වන දුල්ෆිකාර් බුකාරි රොයිටර් පුවත් සේවය සමග පවසා ඇත.‍

දුල්ෆිකාර් බුකාරි වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබාදුන් නියෝගයෙන් පසුව, රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂය සූදානම් බවය. දුල්ෆිකාර් බුකාරි දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ, ඉම්රාන් ඛාන් නිදහස් වුවද රටට හානියක් වන කිසිදු ක්‍රියාවක නිරත නොවන බවය