ඉන්දියාවේ පාලක කොංග‍්‍රස් පක්ෂයේ උප නායක ධුරය පෙරේදා (19) රාහුල් ගාන්ධිට හිමිවිය. ඒ අනුව ගාන්ධි නේරු පරපුරට සම්බන්ධ 42 හැවිරිදි රාහුල් ගාන්ධි, 2014 වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කොංග‍්‍රස් පක්ෂ අපේක්ෂකයා ලෙස අගමැති ධුරය වෙනුවෙන් සටන් වදිනු ඇත.
කොංග‍්‍රස් පක්ෂ සභාපති ජනර්දන් ජිවේඩි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ උප නායක ධුරය රාහුල් ගාන්ධිට පිරිනැමීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඒකමතිකව තීරණය කළ බවය.
කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වය හොබවන්නේ රාහුල්ගේ මව සෝනියාය. ජිවේඩි වැඩි දුරටත් කියා සිටියේ රාහුල් පක්ෂයේ දෙවැනි නායකයා යනුවෙනි.
2004 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොංග‍්‍රස් පක්ෂය ජයග‍්‍රහණය කර, සන්ධාන රජය පිහිටුවූ අවස්ථාවේදී සෝනියා ගාන්ධි විසින් අගමැති ධුරයට පත් කරනු ලැබුවේ අගමැති මන්හෝමන් සිංය. අගමැති සිංගේ ධුර කාලය ලබන වසරෙන් අවසන් වෙයි.
අගමැති ධුරයට බාර ගැනීමට නම් රාහුල් ගාන්ධි ඊට සුදුස්සකු යැයි කි‍්‍රයාවෙන් ඔප්පු කළ යුතු බවත් වැඩි වැඩියෙන් වගකීම් බාරගෙන කටයුතු කළ යුතු බවත් ඉන්දීය ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය පවසයි.
2014 වසරේ මැතිවරණයේදී රාහුල්ට සටන් කිරීමට සිදුවනු ඇත්තේ නරේන්ද්‍ර මෝඩි සමඟය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මෝඩි දීර්ඝ කාලයක් තිස්සේ ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ධුරය හොබවයි. 2001 වසරේ මහ ඇමැති ධුරයට පත් වූ ඔහු පිටපිට තෙවරක් ජයග‍්‍රහණය කර ඇත.