ඉදිරි දින 30 ඇතුළත පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අභාවප‍්‍රාප්ත වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ඉදිරිපත් වන උප ජනාධිපති නිකලස් මදුරෝට වෙනිසියුලානු විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේගෙන් අභියෝගයක් එල්ලවනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡුන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාවේ සහාය ද හිමිවූයේ ඔහුටය.
ඒ අනුව කැප්රිලේගෙන් මදුරෝට විශාල අභියෝගයක් එල්ල වනු ඇත. චාවේස්ගේ අඩිපාරේ ගියත්, චාවේස්ගේ දේශපාලන දර්ශනය අනුගමනය කළත්, ජනතාවාදී දේශපාලනඥයකු වුණත්, නිකලස් මදුරෝට තවත් ‘චාවේස්’ කෙනකු විය නොහැකි බව වෙනිසියුලානු දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් කියා සිටිති.
 චාවේස් අනුගමනය කළේ කියුබා නායක ෆිදෙල් කස්ත්‍රෝගෙන් සහ වෙනිසියුලාවේ හමුදා සහ දේශපාලන නායක සයිමන් බොලිවාගේ දර්ශනය බවත් චාවේස් විප්ලවකාරයකු බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මදුරෝ චාවේස් මෙන් කටකාරයකු නොවන බව ද ඔවුහු පවසති.
1962 වසරේ නොවැම්බර් 23 වැනිදා උපන් මදුරෝ බස් රථ රියැදුරෙකි. ඔහු දේශපාලනයට අවතීර්ණ වූයේ වෘත්තීය සමිති නායකයකු ලෙසය. චාවේස් ඉකුත් දෙසැම්බරයේ පිළිකා සැත්කමට භාජන වීමට කියුබාවේ හවානා නුවර බලා ගිය අවස්ථාවේදී ඔහු ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස මදුරෝ නම් කළේය. එපමණක් නොව ඔහුට බලය පැවැරීමක් ද කළේය.
1994 වසරේ සිට චාවේස් සමීපව ඇසුරු කළත්, මදුරෝ වෙනිසියුලාවේ දේශපාලන කරළියට පිවිසියේ 2006 වසරේදීය.
එවකට චාවේස්ගේ රජයේ විදේශ කටයුතු ඇමැති ධුරය හෙබවූයේ ඔහුය. ඔහු උප ජනපති ධුරයට පත්වුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ 7 වැනිදා පැවැති මැතිවරණයෙනි.
නිකලස් මදුරෝ මොරෝස් උපන්නේ වෙනිසියුලාවේ කැරකස් නුවරදීය. ඒ, 1962 වසරේ නොවැම්බර් 23 වැනිදා ය. රජය පෙරැුළීමට ගත් අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණයකින් චාවේස් සිර දඬුවම් විද 1994 වසරේ සමාව ලැබ නිදහස් වූ අවස්ථාවේ සිට ඔහුගේ සමීපතමයකු වූයේ මදුරෝ ය. එනිසා ඔහුට චාවේස්ගේ ගෞරවයත් ආදරයත් හිමිවිය.
එම හමුදා කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී චාවේස් වෙනුවෙන් පෙනී සිටි සියේලා ෆ්ලොරේස් පසුව මදුරෝගේ බිරිඳ වූවාය. 1998 වසරේ පැවැති මැතිවරණයේදී චාවේස් වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ තැනැත්තා වූයේ ද මදුරෝය.