ඉතාලි මහමැතිවරණ ප‍්‍රතිඵල එරට ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක අතර බෙදීයාම නිසා නව රජයක් පිහිටුවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවක් මතුව ඇතැයි නවතම සමීක්ෂණයන් පෙන්වාදෙයි.
මධ්‍ය වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලියූගි බර්සානි මෙවර මැතිවරණයේදී පහළ මන්තී‍්‍රමණ්ඩලයේ තියුණු ජයක් අත්කරගෙන සිටී. ඒ ඡන්ද 125,000ක් ලබාගනිමිනි. එසේම මධ්‍ය දක්ෂිණාංශික  පක්ෂයේ සිල්වියෝ බර්ලූස්කෝනිගේ පක්ෂය සෙනෙට් මණ්ඩලයේ බහුතර බලයක් හිමි කර ගැනීමට සමත්ව සිටින බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
මෙවර මහමැතිවරණයෙන් මධ්‍ය වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආසන 119ක්ද මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය ආසන 117ක්ද දිනාගනු ඇති බවට මත පළවී ඇත. නව රජයක් පිහිටුවීමට නම් එක් පක්ෂයක් විසින් සමස්ත ආසන 158ක් දිනාගත යුතුය. ඒ අනුව සමීක්ෂණ වාර්තා පෙන්වාදෙන පරිදි නව රජයක් පිිහිටුවීම පිළිබඳව අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
මහමැතිවරණය පිළිබඳව අනාවැකි පළකරන එරට පුවත්පත් සඳහන් කරන්නේ ඉදිරිසති කිහිපය තුළදී නව රජයක් පිහිටුවීමට නම් එකිනෙකාට විරුද්ධමත දරන පාර්ශවයන්ට එක්වීමට සිදුවනු ඇති බවයි. මේ අතර ඉතාලි විකට රංගන ශිල්පියකු වන බෙපේ ගී‍්‍රලෝගේ පක්ෂය ද සමස්ත ඡන්දවලින් වැඩි ප‍්‍රතිශතයක් ලබා තුන්වැනි ස්ථානයට පැමිණ සිටී. ඉතාලි නව රජයක් පිහිටුවීම සඳහා ග්රිලෝගේ දායකත්වය ඉතා වැදගත් බව පවසන එරට මාධ්‍ය,  ඔහු රජුන් තනන්නකු බවට පත්ව සිටින බවද සඳහන් කරයි.