ඇෆ්ගන් සටන්කාමීන් විසින් පැහැර ගනු ලැබූ විදෙස් වෛද්‍යවරියන් දෙදෙනකු ඇතුළු සහන සේවකයන් පස් දෙනකු බේරා ගැනීමට ඇෆ්ගන් සහ ඇමෙරිකා හමුදා සෙබළු පෙරේදා (2) සමත් වූහ. වෛද්‍යවරියන් දෙදෙනා ස්විට්සර්ලන්ත ජාතිකයෝ දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාත් සෙසු සහන සේවකයෝ තිදෙනාත් ස්විට්සර්ලන්තයේ ආධාර ලැබෙන ඇෆ්ගන් සහන සේවා ආයතනයක සේවය කළ අය වෙති. සටන්කාමීන් එම පිරිස පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය. එම අවස්ථාවේ ඔවුහු ගංවතුරින් විපතට පත් ගම් වැසියන්ට බෙහෙත් රැගෙන බඩක්ෂාන් පළාතට යමින් සිටියහ. ප‍්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සටන්කාමීන් ඇෆ්ගන් රජයෙන් මුදල් ඉල්ලීමක් ද කර ඇත. සහන සේවකයන් බේරා ගැනීමට ඇෆ්ගන් සහ ඇමෙරිකා හමුදා සිදුකළ මෙහෙයුමේදී සටන්කාමීන් පස් දෙනකු ඝාතනය වූ බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. සටන්කාමීන් ප‍්‍රාණ ඇපකරුවන් රඳවා තැබුණු තැන සොයා ගැනීමට ඇමෙරිකන් සහ ඇෆ්ගන් හමුදා සෙබළුන්ට හැකි වී ඇත්තේ බුද්ධි අංශ තොරතුරු සහ චන්ද්‍රිකා තාක්ෂණයේ උදව්වෙනි.