ඇෆ්ගනිස්තානයේ හමුදා මුරපොළකට තලේබාන් සටන්කාමීන් පිරිසක් ඊයේ (27) උදෑසන කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් හමුදා සෙබළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හය දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ වෂීර් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන හමුදා මුරපොළටය. ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 20 දෙනකු පමණ පැමිණි බව වාර්තා වේ. සටන්කාමීන් මුරපොළට කඩා වැදී ඇත්තේ වෙඩි තබමින් සහ අත් බෝම්බවලින් ද දමා ගසමින්ය. එම අවස්ථාවේදී මුරපොළේ සිටි හමුදා සෙබළුන් ද ඔවුන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇත. එම ප‍්‍රහාරයෙන් සටන්කාමීහු දෙදෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ. මේ අතර විදෙස් හමුදාවලට සහාය දැක්වූයේ යැයි චෝදනා කරමින් තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ කජාකී දිස්ති‍්‍රක්කයේ ගම්මානයකට කඩා වැදී ගම්වැසියන් 17 දෙනකු හිස ගසා මරා දැමූ බව ද ඊයේ වාර්තා විය. ඝාතනයට ලක් වූ එම 17 දෙනා අතර කාන්තාවෝ දෙදෙනෙක් ද සිටිති. මීට අමතරව ඇෆ්රැන් සෙබළකු එල්ල කළ වෙඩි තැබීමකින් නේටෝ හමුදා සෙබළුන් දෙදෙනකු ද ඊයේ ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. එම ඝාතන සිදුවුණේ ලග්මාන් නුවර අසළදීය.