ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කර දොළොස් වසරක් සපිරී ඇති නමුත් තලේබාන් සටන්කාමීන්

ඇෆ්ගන් ජනපති (වමේ) ඇමෙරිකානු නව ආරක්‍ෂක ලේකම් හමුවෙමින්...

පරාජය කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැතැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි චෝදනා කරයි.
 2014 වසරෙන් පසුවත් ඇමෙරිකානු හමුදා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවමින්, ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට සූදානම් වන බවද ජනපතිවරයා තවදුරටත් කියා සිටී.
ඇෆ්ගන් ජනපති එම චෝදනා එල්ල කළේ පෙරේදා (10) ජාතිය ඇමැතූ අවස්ථාවේදීය. ඇමෙරිකාවට පමණක් නොව ඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන තලේබාන් සංවිධානයට ද ජනපති කර්සායි එම අවස්ථාවේදී දොස් පැවැරීය.
ඇමෙරිකාව තම හමුදා තව දුරටත් ඇෆ්ගනිස්තානයේ රඳවා තැබීමට උත්සාහ ගන්නේ තලේබාන් සංවිධානය දිගින් දිගටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරමින් ඇමෙරිකාව පොළොඹ වන නිසා යැයි ද ජනපති කර්සායි චෝදනා කළේය.
ඇෆ්ගනිස්තානය අවුල් ජාලයක් කිරීමේ වගකීම තලේබාන් සංවිධානය මෙන්ම ඇමෙරිකාව ද බාර ගත යුතු යැයි ජනපති කර්සායි වැඩි දුරටත් චෝදනා කරයි.
ඇෆ්ගන් ජනපති මෙසේ චෝදනා කළේ ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් චක් හේගල් ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයකට පැමිණි අවස්ථාවේදීය.
ඇමෙරිකා හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමෙන් පසු හේගල්, ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි හමුවී සාකච්ඡා කළ බව ද වාර්තා විය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගිනස්තානය ආක‍්‍රමණය කළේ 2001 වසර ඔක්තෝබර් මාසයේදී ය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට පැමිණ සැඟවීමත් එවකට පැවැති තලේබාන් රජයෙන් ඔහුට සහාය හිමිවීමත් සමඟය.
විදෙස් හමුදා එවකට පැවැති තලේබාන් පාලනය පෙරළා දමා ඔවුන්ට හිතැති පාලනයක් ඇෆ්ගනිස්තානයේ පිහිටුවී ය. හමීඞ් කර්සායි ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරයට පත් වූයේ ඒ අනුවය. කර්සායිගේ රජය ගෙන යෑමට ආධාර දෙන්නේද බටහිර රටවල්ය.